වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූකම්පන හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දියාව දියත් කර ඇති මානුෂීය සහන සේවා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ඒ වෙනුවෙන් වෙනිසියුලානු වැසියන් ඉන්දියාවට සිය අවංක කෘතඥතාව පළ කරමින් සිටිති.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් 'X' සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ වීඩියෝ දර්ශන පෙළක් ප්‍රකාශයට පත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, ඉන්දීය යුද හමුදාව විසින් වෙනිසියුලාවේ පිහිටුවා ඇති තාවකාලික ක්ෂේත්‍ර රෝහලෙන් ප්‍රතිකාර සහ රැකවරණය ලබාගත් දේශීය පවුල් රැසක් ඉන්දියාවට ස්තූතිවන්ත වන අයුරුයි.

එහිදී අදහස් දැක්වූ වෙනිසියුලානු කාන්තාවක කියා සිටියේ, "ඔබ මෙහි ස්ථාපනය කර ඇති රෝහල ප්‍රදේශයේ ජනතාවට විශාල උපකාරයක් වුණා. මම ඔබේ රටට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා," යනුවෙනි.

තවත් වැසියෙකු එහි සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය සහ තමන්ට ලැබුණු විශිෂ්ට සාත්තු සේවාව විශේෂයෙන් අගය කළාය.

එමෙන්ම තමන්ගේ වසර 60 ක ජීවිත කාලය තුළ මෙවැනි උසස් මට්ටමේ වෛද්‍ය ප්‍රතිකාර සේවාවක් මීට පෙර දැක නොමැති බව පවසමින් තවත් කාන්තාවක් ඉන්දීය හමුදා රෝහල වෙත සිය උපහාරය පුද කළාය.

ඉන්දියාවේ පිහිටි වෙනිසියුලානු තානාපති කාර්යාලය ද මේ සම්බන්ධයෙන් සටහනක් තබමින්, භූකම්පනයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ කරාකස් අගනුවර පිහිටි ලා රින්කොනාඩා ප්‍රදේශයේ ඉන්දීය සන්නද්ධ බලකායන් විසින් මෙම ක්ෂේත්‍ර රෝහල ස්ථාපනය කර ඇති බව තහවුරු කළේය.

මෙය දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් වන අතර, මේ සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් රැසක් අනුයුක්ත කර ඇති බවද ඔවුහු පවසති.

පසුගිය ජූනි 24 වැනිදා සිදු වූ මෙම විනාශකාරී ද්විත්ව භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ, ඉන්දියාව වහා ක්‍රියාත්මක වී Operation Amistad - මිත්‍රත්වයේ මෙහෙයුම යටතේ වෙනිසියුලාවට සහන සැලසීම වේගවත් කළේය.

මේ යටතේ මුදාගැනීමේ කණ්ඩායම්, ක්ෂේත්‍ර රෝහල්, අත්‍යවශ්‍ය ඖෂධ සහ අනෙකුත් සහන ද්‍රව්‍ය රැසක් එරටට යවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම ප්‍රබල භූකම්පන හේතුවෙන් මියගිය පිරිස 1,719 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙනිසියුලානු ජාතික සභාවේ සභාපති ජෝර්ජ් රොඩ්රිගස් තහවුරු කර තිබේ.

අනතුරින් පුද්ගලයින් 22,619 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති අතර, ඉන් 5,034 දෙනෙකු තුවාල ලබා ඇත. එසේම හානියට පත් වූ ගොඩනැගිලි 855 න් 189 ක්ම මුළුමනින්ම බිමට සමතලා වී ඇති බවද වාර්තා වේ.