යුද ගැටුම් නිමා කිරීම සඳහා ඇමෙරිකාව සහ ඉරානය අතර අත්සන් තැබුණු සාම ගිවිසුමෙන් පසු කොන්දේසි ඉටු කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
මේ අනුව, ඉරානයට පනවා තිබූ නාවික අවහිරතා ඉවත් කිරීමට ඇමෙරිකාව පියවර ගත් බවයි ඇමරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය කියා සිටියේ.
කෙසේ වුවත්, ඇමරිකානු නාවික හමුදා නැව් කිහිපයක් තවදුරටත් එම මුහුදු කලාපයේ රැඳී සිටිනු ඇතැයිද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර මෙම සාම ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රථම වරට අදහස් දක්වමින් ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා ඛමේනි ප්‍රකාශ කළේ, තමන්ට වෙනස් මතයක් තිබුණ ද ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් දුන් පොරොන්දුව මත තමන් ගිවිසුමට අනුමැතිය දුන් බවයි.
එමෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම එකඟතාවයට පැමිණියේ දැඩි අසරණභාවය නිසා බව ද ඔහු පවසා තිබෙනවා.
ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා සිටියේ, හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් නැවැත්වීමේ සටන් විරාමයක් ද ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.
ප්‍රධාන කරුණු 14කින් සමන්විත මෙම ගිවිසුම මගින්, ඉරානය කිසිදා න්‍යෂ්ටික අවි නිපද නොවිය යුතු අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කළ යුතු වනවා.
යුද්ධය නිසා ඉරානයේ සිදුවූ හානි වෙනුවෙන් සහ එරට ආර්ථික සංවර්ධනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 300ක අරමුදලක් ඇමෙරිකාව මැදිහත් වීමෙන්ි පිහිටුවීම තවත් කොන්දේසියක්.
ගිවිසුමට අනුව ඉරානයට පනවා ඇති සම්බාධක ද ඉවත් කෙරෙන අතර තහනමට ගෙන ඇති ඉරාන දේපළ කොටස් වශයෙන් නිදහස් කිරීමට ද නියමිතයි.
එසේ තිබියදී ගිවිසුම සම්බන්ධයෙන් ඇමරිකාවේ ඇතැම් පාර්ශවවලින් සහ ඊශ්‍රායලයෙන් ද දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.
ඇමරිකානු රිපබ්ලිකන් පක්ෂයේ ඇතැම් සාමාජිකයින් පවසන්නේ මෙය ඇමෙරිකාව කළ ලොකුම විදේශ ප්‍රතිපත්ති වැරැද්දක් බවයි.
ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය ද මෙයට විරෝධය පළ කර තිබෙනවා.
නමුත් ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් මෙම විවේචන ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, ඉරානය තම න්‍යෂ්ටික යුරේනියම් තොග විනාශ කර, සන්නද්ධ කණ්ඩායම්වලට මුදල් සැපයීම නතර කරන තෙක් ඔවුන්ට කිසිදු මුදලක් හෝ සම්බාධක ලිහිල් කිරීමක් සිදු නොකරන බවයි.
එමෙන්ම, සිවිල් වැසියන් මිය යන පරිදි ලෙබනනයේ බීරූට් අගනුවරට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර කිසිසේත් පිළිගත නොහැකි බව ද උප ජනාධිපතිවරයා අවධාරණය කළා.
මේ අතර, සාම ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවත් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර අඛණ්ඩව ප්‍රහාර හුවමාරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
ලෙබනනයේ සිදුවූ ප්‍රහාරවලින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.




