පුද්ගලයින් 241 දෙනෙකුට මරු කැඳවූ අහමදාබාද් ගුවන් අනතුර සම්බන්ධයෙන් ඉන්දීය බලධාරින් පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යංශයේ ප්‍රධානත්වයෙන් එම විමර්ශන සිදු කෙරෙන බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එම විමර්ශනවලට සහාය ලබාදීම සඳහා “බෝයිං” සමාගම ද ඉදිරිපත්ව සිටිනවා.
ඒ අනුව ජාත්‍යන්තර ගුවන් සේවා නීතිරීතිවලට අනුකූලව එම විමර්ශන සිදු කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මේ අතර එම විමර්ශනවලට අදාළ සාක්ෂි රැස් කිරීම සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයින් ද අනතුර සිදු වූ ස්ථානය නිරීක්ෂණයට ලක් කළා.
කෙසේවෙතත් මෙම ගුවන් අනතුරට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.
අනතුරට ලක් වූ එයාර් ඉන්දියා 171 ගුවන් යානය බෝයිං සමාගම මගින් නිෂ්පාදනය කරන ලද යානයක්.
එම අනතුර සම්බන්ධයෙන් බෝයිං සමාගමේ සභාපති කෙලී ඕර්ට්බර්ග් ද මියගිය පුද්ගලයින්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කර තිබෙනවා.
ලොව රටවල් රැසක නායකයින් ද අහමදාබාද් ගුවන් අනතුර සම්බන්ධයෙන් ශෝකය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර එම ගුවන් අනතුරෙන් මිය ගිය පුද්ගලයින් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා තවත් කාලයක් ගතවනු ඇති බව අහමදාබාද් රෝහල් බලධාරින් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, බොහෝ මළසිරුරු හඳුනාගත නොහැකි මට්ටමකට පිලිස්සී තිබීම හේතුවෙන්.
එම පුද්ගලයින් ඩී.එන්.ඒ පරීක්ෂණ මගින් හඳුනා ගැනීමට ද කටයුතු කරමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.
මේ අතර මෙම ගුවන් අනතුර හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 290ක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, ගුවන් යානයේ සිටි මගීන් 241 දෙනෙකුට අමතරව ගුවන් යානයේ ගැටුණු ගොඩනැගිල්ලේ සිටි පිරිසකට ද දිවි අහිමි වීම හේතුවෙන්.
අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර ලබන අහමදාබාද් රෝහල සහ අනතුර සිදු වූ ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අද පැමිණ තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනතුර සිදු වූ ස්ථානයේ විනාඩි 20ක පමණ කාලයක් රැඳී සිටිමින් එම ස්ථානය නිරීක්ෂණය කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
එයාර් ඉන්දියා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ද අද අනතුර සිදු වූ ස්ථානය නිරීක්ෂණය කර තිබෙනවා.
මේ අතර ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග එයාර් ඉන්දියා ගුවන් සේවයේ මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් වාර 16ක් පමණ අවලංගු කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.