ඩුබායි සිට ටෙල් අවිව් දක්වා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි' FZ1073 ගුවන් යානය තුළදී සිදුවූ බිහිසුණු අනතුර වළක්වා ගනිමින් මගීන්ගේ ජීවිත බේරාගත් ඉන්දීය ජාතික නියමු ස්මිට් මච්ඡාර් වීරයෙකු ලෙස ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අගය කර තිබේ.
පසුගිය සෙනසුරාදා නියමුවා සමඟ දුරකථනයෙන් සංවාදයක යෙදෙමින් අගමැතිවරයා ප්රකාශ කර ඇත්තේ, ඔහු ඊශ්රායලයට, ඉන්දියාවට මෙන්ම මුළු ලෝකයටම වීරයෙකු වන බවයි.
මෙම අභීත ක්රියාකලාපය වෙනුවෙන් ඊශ්රායල නිදහස් දින උත්සවයේදී නිල සමරු පහන දැල්වීමේ ඉහළම ගෞරවය සඳහා සහභාගී වන ලෙස නියමු මච්ඡාර්ට සහ ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදිට ඊශ්රායල අගමැතිවරයා විශේෂ ආරාධනාවක් කර ඇත.
සාමාන්යයෙන් මෙම ගෞරවය ඊශ්රායල පුරවැසියන්ට පමණක් සීමා වුවද, මුළු ඊශ්රායල ජනතාවම ඔහුව මහත් හරසරින් පිළිගන්නා බව නෙතන්යාහු වැඩිදුරටත් පැවසීය.
සැප්තැම්බර් 30 වන දින සිදුවූ මෙම සිදුවීමේදී, යානයේ සිටි ඕමාන් ජාතික සහායක නියමු හමාම් අල්-හමාමි නැමැත්තා විසින් යානය කඩාබිඳ දැමීමේ අරමුණින් ප්රධාන නියමු මච්ඡාර්ට පොරවකින් පහරදී ඇත.
ප්රහාරයත් සමඟ යානය මිනිත්තු දෙකක් ඇතුළත අඩි 17,000 කට වඩා පහළට ඇදී ගිය අතර හදිසි ආපදා සංඥාද නිකුත් විය.
කෙසේවෙතත්, බරපතල තුවාල ලබා සිටි නියමු මච්ඡාර් වහා ක්රියාත්මක වී නියමු කුටියේ දොර අගුලු හැරීමට සමත් වූ අතර, ඒ සමඟම ඇතුළු වූ මගීන් විසින් සහායක නියමුවා මෙල්ල කර ගනිමින් යානයේ පාලනය නැවත ලබාගෙන ඇත.



