කාර්මික නිමැවුම, පරිභෝජනය සහ ආයෝජන අපේක්ෂිත මට්ටමට වඩා පහත වැටීම හේතුවෙන් වසරේ දෙවන අර්ධයේදී චීන ආර්ථිකය මන්දගාමී ආරම්භයක් සටහන් කර තිබේ.
එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, ජූලි මාසයේදී කාර්මික නිෂ්පාදනය පෙර වසරට වඩා සියයට 4.5 කින් පමණක් වර්ධනය වී ඇති අතර, එය මාස තුනකට පසු වර්ධන වේගය මන්දගාමී වූ පළමු අවස්ථාවයි.
බ්ලූම්බර්ග් (Bloomberg) ආර්ථික විද්‍යාඥයින්ගේ මධ්‍යස්ථ අනාවැකිය වූයේ එය සියයට 5 ක් වනු ඇති බවයි. එසේම සිල්ලර වෙළඳාමේ වර්ධනය ද සියයට 0.6 දක්වා අඩුවී ඇති අතර එය අපේක්ෂිත මට්ටමට වඩා පහත වැටීමකි.
පළමු අර්ධයේදී සියයට 5.7 කින් පහත වැටුණු ස්ථාවර වත්කම් ආයෝජන, වසරේ මුල් මාස හත තුළ සියයට 6.7 කින් පහත වැටී ඇත. නාගරික රැකියා විරහිත භාවය ජූනි මාසයේ පැවැති සියයට 5 සිට සියයට 5.2 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම වසර තුළ ආර්ථිකය ස්ථාවර මට්ටමක පැවැතුණ ද, බාහිර පරිසරය සංකීර්ණ හා අස්ථාවර බවත්, දේශීය ඉල්ලුම දුර්වල මට්ටමක පවතින බවත් ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.
"ඇතැම් සමාගම් මෙහෙයුම් දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින අතර, ආර්ථිකය ස්ථාවර කර වැඩිදියුණු කිරීමට තවදුරටත් ශක්තිමත් පදනමක් අවශ්‍ය වේ," යැයි දත්ත නිකුත් කරමින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
දේශීය ඉල්ලුම අඩුවීම සහ අතිශය අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ බාධා, මාස ගණනාවක මූල්‍ය තදබදයෙන්
දැනටමත් දුර්වල වී ඇති ආර්ථිකය තවදුරටත් පසුපසට ඇද දමයි.
ප්‍රබල අපනයන පැවැතියද, දෙවන කාර්තුවේදී වර්ධනය රජයේ වාර්ෂික ඉලක්කය වන සියයට 4.5-5 ට වඩා පහත වැටුණු අතර, අගෝස්තු ආරම්භයේදී ආර්ථිකයේ වේගය තවදුරටත් මන්දගාමී වූ බව බ්ලූම්බර්ග් ඉකොනොමික්ස් ගණන් බලයි.
පසුගිය මාසයේ චීනයේ විශාල ප්‍රදේශ හරහා හමාගිය තද වැසි සහ සැර සුළං හේතුවෙන් කර්මාන්තශාලා සහ වරායන් තාවකාලිකව වසා දැමීමටත්, විදුලිය විසන්ධි වීමටත්, දස දහස් සංඛ්‍යාත ජනතාවකට ආරක්ෂිත ස්ථාන වෙත යාමටත් සිදු විය. මෙම බාධාවන් තාවකාලික බලපෑමක් පමණක් ඇති කළ හැකි නමුත්, සිය වර්ධන ඉලක්කය කරා ළඟා වීමට ආර්ථිකයට වැඩි සහනයක් අවශ්‍යද යන්න තක්සේරු කිරීමේදී ප්‍රතිපත්ති සම්පාදකයින් මෙම දත්ත කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට ඉඩ ඇත.




