ලබන මස නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත 'බ්‍රික්ස්' (BRICS) රාජ්‍ය නායක සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් විශාල නියෝජිත පිරිසක් ද කැටුව සහභාගී වීමට වැඩි ඉඩකඩක් පවතින බව වාර්තා වේ.

තොරතුරු දන්නා ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙය වසර හතකට පසු චීන ජනාධිපතිවරයා සිදු කරන පළමු ඉන්දීය සංචාරය වන අතර, එය දෙරට අතර සබඳතාවල නව අලුත්වැඩියාවක් පෙන්නුම් කරන සලකුණක් බවයි.

සැප්තැම්බර් 12 සහ 13 යන දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන මෙම සමුළුවේදී ෂී ජින්පින්ගේ පැමිණීම කෙරෙහි වැඩි අවධානයක් යොමුවී ඇත්තේ බ්‍රික්ස් සංවිධානයේ න්‍යාය පත්‍රයට වඩා වැඩි යමකටය.

එනම් 2020 වසරේ හටගත් මාරාන්තික දේශසීමා ගැටුම්වලින් පසුව පළුදු වූ බීජිං සහ නවදිල්ලි සබඳතා යථා තත්ත්වයට පත් කරගැනීමට දෙරට දරන උත්සාහය මෙමගින් පිළිබිඹු වන බැවිනි. ඉන්දීය ආරංචි මාර්ගයක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, චීන නිලධාරීන් මේ වන විටත් හෝටල් පහසුකම් සහ ආරක්ෂක විධිවිධාන අවසන් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

පසුගිය වසරේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ද වසර හතකට පසු ප්‍රථම වතාවට චීනයේ සංචාරයක නිරත වූ නමුත්, දෙරට අතර සබඳතාවල වර්ධනයක් දක්නට ලැබුණේ ඉතා මන්දගාමීවය. මෑතකදී පවා අලුතින් මතුවූ දේශසීමා ආරවුලක් හේතුවෙන් දෙපාර්ශවය අතර උණුසුම් රාජ්‍යතාන්ත්‍රික මතගැටුම් ඇති විය.

කෙසේ වෙතත්, අනෙකුත් ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ, 2019 වසරේදී 200 කට ආසන්න පිරිසක් සහභාගී වූවාට සාපේක්ෂව, මෙවර චීන ජනාධිපතිවරයා සමඟ 400 කට ආසන්න නිලධාරීන් පිරිසක් පැමිණීමට නියමිත බවයි.

දේශසීමා තර්ජන සහ කලාපීය ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් පවතින දීර්ඝකාලීන මතභේද කළමනාකරණය කරගනිමින්, දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි මාර්ග පිළිබඳව පරීක්ෂා කර බැලීමට දෙරටේම නිලධාරීන් මෙම සමුළුව යොදාගනු ඇතැයි අපේක්ෂා කෙරේ.