චීනයෙන් සිදුවන භාණ්ඩ සැපයුම් සීමා වීම්වලින් මතුවන අවදානම අවම කර ගැනීම සඳහා යුරෝපා සංගමයේ (EU) ව්යාපාරික ආයතන කඩිනමින් විකල්ප මාර්ග වෙත යොමු විය යුතු බව යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන් අවධාරණය කරයි.
කෙසේ වෙතත්, සමාගම් විසින්ම ස්වේච්ඡාවෙන් මෙම පියවර නොගතහොත්, විකල්ප සැපයුම්කරුවන් සොයා යාම අනිවාර්ය කෙරෙන නව නීති පැනවීමට සිදු වන බවටද ඇය අනතුරු ඇඟවීමක් කර ඇත.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, පසුගිය ජූනි 19 වැනි සිකුරාදා බ්රසල්ස් නුවර පැවැති යුරෝපා සංගම් නායකයන්ගේ විශේෂ සමුළුවේ ප්රධානතම මාතෘකාව වූයේ චීනයයි. එහි නිල ලේඛනවල චීනයේ නම සෘජුව සඳහන් කර නොතිබුණද, යුරෝපීය සමාගම් චීනය මත පමණක් යැපීමේ ප්රවණතාව අවම කිරීම කෙරෙහි නායකයන්ගේ දැඩි අවධානය යොමුව තිබේ.
යුරෝපා කොමිසමේ සභාපතිනිය පෙන්වා දෙන්නේ, පවතින අවදානම් තත්ත්වයන් හඳුනාගෙන විකල්ප මාර්ග වෙත යොමු වීමට යුරෝපා සමාගම් දක්වන්නේ ඉතා මන්දගාමී ප්රතිචාරයක් බවයි.



