අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කල බව කියන පුද්ගලයෙකු ධවල මන්දිරය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙනිසියුලානු ජාතිකයෙක්. ඔහු රොනී යෝඩ්රික්ස් ගුවානිපා ක්රිනෝස් නමැත්තෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ ඔහු සන්තකයේ තිබී ගිනි අවි කිහිපයක්ද සොයාගෙන ඇති බවයි.
වොෂින්ටන් ඩී.සී. හි කොන්ස්ටිටියුෂන් මාවතේදී අමෙරිකානු රහස් සේවා නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සැක කටයුතු ලෙස ධාවනය කෙරුණු වාහනයක් පරීක්ෂා කළ අවස්ථාවේදීයි.
වාහනයේ හැසිරීම සැකකටයුතු එබැවින් නිලධාරීන් එය පරීක්ෂා කර තිබෙනවා. වාහනේ සිටි සැකකරු එහිදී නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ජනාධිපති ට්‍රම්ප් ඝාතනය කරන ලෙස සිත තුළින් හඬක් ඇසුණු බවයි.
සැකකරු සන්තකව සිටි වාහනය සොරකම් කරන ලද එකක් බවට ද අනාවරණ වී තිබෙනවා.
වාහනය තුළ ගිනිඅවිද තිබෙන බව සැකකරු මුල් අවස්ථාවේම පිළිගත් බවයි නිලධාරීන් වැඩිදුරටත් පවසන්නේ. පසුව සිදුකළ පරීක්ෂාවේදී රයිෆලයක් ඇතුළු ගිනි අවි තුනක් සහ පතොරම් විශාල ප්‍රමාණයක් එහි තිබී නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.
මේ පිළිබඳ කරුණු දක්වමින් ඇමරිකානු සිවිල් සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ නීතිවිරෝධී ලෙස ගිනි අවි සහ පතොරම් ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ආබවයි.
මෙම සැකකරු 2024 වසරේ මාර්තු මාසයේදී ටෙක්සාස් ප්‍රාන්තය හරහා අමෙරිකාවට ඇතුළු වී ඇතැයිද, එහිදී දේශසීමා මුර සංචාරක නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර ඇතැයිද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
අමෙරිකානු රහස් සේවා අධ්යක්ෂ ෂෝන් කරන් සඳහන් කළේ, ආරක්ෂක නිලධාරීන්ගේ පුහුණුව සහ පළපුරුද්ද හේතුවෙන් මහජනතාවට එල්ල විය හැකි තර්ජනයක් වළක්වා ගැනීමට හැකි වූ බවයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ද ඝාතන උත්සාහයන් කිහිපයකට මුහුණ දුන්නා.
2024 ජූලි මාසයේදී පෙන්සිල්වේනියාවේ බට්ලර් ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්රචාරක රැලියකදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ජනාධිපති ට්‍රාම්ප් ද එහිදී තුවාල ලැබුවා.
එමෙන්ම, පසුගිය අප්‍රේල් මාසයේදී වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර ද ආරක්ෂක බාධකයක් උල්ලංඝනය කරමින් ඇතුළු වූ තුවක්කුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ පියවර ගත්තා.




