අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ වොෂින්ටන් නුවර හිල්ටන් හෝටලයේ පැවති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය, අතරතුර වෙඩි තැබීමක් සිදු කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුට එරෙහිව අද දින අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නියමිතව තිබෙනවා.
අමෙරිකාවේ වැඩබලන නීතිපති ටොඩ් බ්ලැන්ච් ප්‍රකාශ කර ඇත්තේ සිදු කරන ලද මූලික විමර්ශනවලට අනුව සැකකරුගේ ඉලක්කය වී ඇත්තේ වත්මන් පරිපාලන නිලධාරීන් බවයි.
ඒ අතරට ඇමරිකානු ජනාධිපතිවරයා ද ඇතුළත් වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.
ඇමරිකානු වැඩබලන නීතිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සැකකරු තමා නවාතැන් ගෙන සිටි හෝටල් කාමරය තුළදීම ගිනි අවිය සකස් කරගෙන ඇති බවට වාර්තා වන බවයි.
ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවද ඔහු පැවසුවා.
සැකකරුට ආරක්ෂක වළලු බිඳගෙන ඉදිරියට යාමට අවස්ථාවක් නොලැබුණු බවත් ඔහු ආරක්ෂක පිරිවරට ඇතුළු වූ සැණින් අත්අඩංගුවට පත් වූ බවත් ටොඩ් බ්ලැන්ච් තහවුරු කර තිබෙනවා
විමර්ශනවලට අනුව සැකකරු ලොස් ඇන්ජලීස් සිට චිකාගෝ හරහා දුම්රියෙන් වොෂින්ටන් නුවර බලා පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
මේ අතර තමා දරන ජනාධිපති ධුරය ලොව පවතින අන් කවර වෘත්තියකටත් වඩා භයානක එකක් බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.
ඒ වොෂින්ටන් නුවර වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවති වාර්ෂික ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ සංගමයේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසුවයි.
ලොව වැඩිම ආරක්ෂාවක් සහිත පුද්ගලයා ලෙස සැලකෙන ඇමරිකානු ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් පසුගිය කාලසීමාව පුරා එල්ල වූ තුන්වන ප්‍රහාරය මෙය වීම විශේෂත්වයක්.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී ඇත්තේ කෙටි කාලයක් තුළ ඔහු මෙවැනි අවදානම් කිහිපයකටම මුහුණ දීම හේතුවෙනුයි.
2024 වසරේ පෙන්සිල්වේනියාහි පැවති රැළියකදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඔහුගේ කනට තුවාල සිදු වුණා.
ෆ්ලොරිඩාහි ගොල්ෆ් පිටියකදී ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ඝාතන තැත් කිරීමක් අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
මෙම ප්‍රහාරයත් සමඟ උත්සවය සංවිධානය කර තිබූ හෝටලයේ ආරක්ෂක විධිවිධාන පිළිබඳව බරපතල ප්‍රශ්න මතු වී තිබෙනවා.
විදෙස් පුවත් වාර්තාකරුවන් පවසා තිබෙන්නේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමේදී අමුත්තන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට නිසි පියවර ගෙන න නොමැති බවයි.
හෝටලයට ඇතුළු වන පුද්ගලයන්ගේ හැඳුනුම්පත් කිසිදු ස්ථානයකදී පරීක්ෂාවට ලක් කර නැහැ.
ප්‍රධාන හෝටල් පරිශ්‍රයේ සිට උත්සව ශාලාවට පිවිසෙන මාර්ගයේ ආරක්ෂක මුරපොළවල් පැවතිය ද ඒවායෙහි ක්‍රියාකාරීත්වය මීට වඩා දැඩි විය යුතු බව විචාරකයන් පවසන්නේ.
සැකකරු ඇමරිකානු ජනාධිපතිවරයාට මෙතරම් සමීප වීමට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට රහස් ඔත්තු සේවා සහ ආරක්ෂක අංශ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
වොෂින්ටන් නුවර සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමත් සමඟ බි්‍රතාන්‍යයේ තෙවන චාල්ස් රජුගේ ඉදිරි ඇමරිකානු රාජ්‍ය සංචාරය සම්බන්ධයෙන් බකිංහැම් මාලිගය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පවතින තත්ත්වය මත ආරක්ෂක විධිවිධානවල වෙනසක් සිදු කරන්නේ ද යන්න පිළිබඳව මේ වන විට දෙරටේම ආරක්ෂක අංශ අතර ඉහළ මට්ටමේ සාකච්ඡා ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.
බකිංහැම් මාලිගාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වොෂින්ටන් වෙඩි තැබීමෙන් පසු රජුගේ සංචාරයේ සැලසුම් කෙරෙහි ඉන් ඇති විය හැකි බලපෑම තක්සේරු කිරීම සඳහා අද දිනය පුරා ඇමරිකානු බලධාරීන් සමඟ සාකච්ඡා කිහිපයක් පවත්වන බවයි.




