ප්‍රබල සුළං සහිතව ‘ඩූජුවාන්‘ චණ්ඩ මාරුතය ජපානයේ නැගෙනහිර දෙසට ඇදී එමින් පවතින බව එරට කාලගුණ බලධාරීන් පවසනවා.
පැයට කිලෝමීටර් 180ක් පමණ වන එම චණ්ඩ මාරුතයේ බලපෑම හේතුවෙන් ජපානයේ ප්‍රවාහන සේවාවන් රැසකට මේ වනවිටත් බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම සංචාරකයන් ආකර්ෂණය වන ස්ථාන කිහිපයක් ද වසා දැමීමටද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ටෝකියෝ අගනුවර ආසන්නයේ පිහිටි චීබා ප්‍රාන්තයට ද මෙම චණ්ඩ මාරුතයෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි බවට ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ‘ඕල් නිපොන්‘ ගුවන් සේවය මගින් ටෝකියෝ හි දකුණු දෙසින් පිහිටි හචිජෝ දූපත වෙත ක්‍රියාත්මක ගුවන් වාර සියල්ල අවලංගු කර තිබෙනවා.
එමෙන්ම නරීටා ගුවන්තොටුපළ පිහිටි චීබා කලාපයේ දුම්රිය ගමනාගමන කටයුතු ද අර්ධ වශයෙන් අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම චණ්ඩ මාරුතය මගින් වාර්තාගත වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, පහත් බිම් යටවීම සහ නායයෑම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසට වෙරළබඩ ජනතාවගෙන් එරට කාලගුණ බලධාරින් ඉල්ලා සිටිනවා.




