බලපෑම තරමක් අඩුවෙමින් පවතින 'ඩොල්ෆින්' චණ්ඩ මාරුතය හේතුවෙන් නැගෙනහිර චීනයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතින අතර, ගුවන් ගමන් සිය ගණනක් අත්හිටුවීමට සිදුව තිබේ. ගතවූ දින කිහිපය තුළ එම ප්‍රදේශවල පදිංචි මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ඉරිදා දිනයේදී ජෙජියැං පළාතේ වෙරළබඩ තීරයට දෙවරක් ඇතුළු වීමෙන් පසුව මෙම කාලගුණ පද්ධතියේ බලපෑම තරමක් අඩු වී තිබේ. ඒ අනුව, චීනයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය විසින් සඳුදා උදෑසන චණ්ඩ මාරුතය පිළිබඳ අවම මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී.

කෙසේ වෙතත්, නැගෙනහිර සහ මධ්‍යම චීනයේ ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් තද වැසි පැවැතෙනු ඇති බවට ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය වැඩිදුරටත් අනතුරු අඟවයි.

රාජ්‍ය CCTV නාලිකාව වාර්තා කළේ ජෙජියැං පළාතේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශ සඳහා ක්ෂණික ගංවතුර ඇතිවීමේ දැඩි අනතුරු ඇඟවීම් බලධාරීන් විසින් නිකුත් කර ඇති බවයි. චීනයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය වන ෂැංහයි හි ප්‍රධාන මගී ගුවන් තොටුපොළ ද්විත්වයේ පමණක් ගුවන් ගමන් 943ක් අවලංගු කර ඇති බව ගුවන්තොටුපොළ බලධාරීන් අන්තර්ජාලය ඔස්සේ නිවේදනය කළේය.

එමෙන්ම ෂැංහයි නගරයේ ප්‍රදේශීය දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහන සේවා රැසක් ද තාවකාලිකව අත්හිටුවා ඇත.

කෙසේ වෙතත්, නැගෙනහිර චීනයේ ඇතැම් නගරවල ප්‍රවාහන සේවා නැවත යථා තත්ත්වයට පත් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. ජෙජියැංහි නිංබෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් කටයුතු මධ්‍යහ්නයේ සිට නැවත ආරම්භ කළ නමුත්, චණ්ඩ මාරුතයේ බලපෑම සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති බැවින් ඇතැම් ගමන් වාර තවදුරටත් ප්‍රමාද වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇති බවට අදාළ බලධාරීන් සිහිපත් කරයි.