සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බව ධවල මන්දිරයට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

මේ මොහොතේ ඉරානය යථාර්ථය පිළිගැනීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට පෙර කිසිදා නොවු විරූ ලෙස ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසන්නේ.

එක්සත් ජනපද සාම සැලැස්ම ප්‍රතික්ෂේප කිරීමට ඉරානය කටයුතු කළහොත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙම අදහස් පළ කර තිබෙනවා.

කෙසේවෙතත් අදාළ සටන් විරාම යෝජනා ප්‍රතික්ෂේප කරන බවයි ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරගච් ප්‍රකාශ කර ඇත්තේ.

අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට ඉරානය අදහස් නොකරන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදය විසින් මැදිහත්කරුවන් හරහා විවිධ පණිවුඩ යොමුකළ ද ඉරානයට අවශ්‍ය වන්නේ ස්ථීර අවසානයක් බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර යුද්ධය අවසන් කිරීම සිදුවිය යුත්තේ ටෙහෙරානයේ කොන්දේසි සහ කාලසටහනකට අනුව පමණක් බව ඉරානයේ පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එරට ජ්‍යෙෂ්ඨ දේශපාලන ආරක්ෂක නිලධාරියෙකු පවසන්නේ යුද්ධය නැවැත්වීම සඳහා ඉරානය විශේෂිත කොන්දේසි 5ක් ඉදිරිපත් කර ඇති බවයි.

මේ අතර ලෝක වෙළඳපොළේ තෙල් මිල අධික ලෙස ඉහළ යාම පාලනය කිරීම සඳහා ජපානය සිය හදිසි තෙල් සංචිත මුදාහැරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.