පකිස්ථානයේ ආරක්ෂක තත්ත්වය බරපතල ලෙස පිරිහීමට ලක්වෙමින්, එරට අභ්‍යන්තර අනාරක්ෂිතභාවය පසුගිය දශකය තුළ වාර්තා වූ ඉහළම මට්ටමට පැමිණ ඇති බව 'පකිස්ථාන සාම අධ්‍යයන ආයතනය' විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

මෙම ප්‍රවණතාවය පෙන්වා දෙන ප්‍රස්තාර සටහනක් ද සමඟින් The Economist සඟරාව වාර්තා කරන්නේ, පකිස්ථාන හමුදා ප්‍රධානී අසීම් මුනීර් ජාත්‍යන්තර තලයේදී ශක්තිමත් සහ බලපෑම් සහගත පකිස්ථානයක් පිළිබඳ ප්‍රතිරූපයක් මතු කිරීමට උත්සාහ කරමින් සිටින පසුබිමක වුවද, එරට අභ්‍යන්තර ආරක්ෂක අභියෝගයන් මෙලෙස දැඩි වී ඇති බවයි.

තෙහ්රීක්-ඊ-තාලිබාන් පකිස්ථානය බලුකිස්ථාන බෙදුම්වාදී කණ්ඩායම් සහ අනෙකුත් සන්නද්ධ සංවිධාන විසින් එල්ල කරනු ලබන ප්‍රහාරයන් ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

මෙහිදී විශේෂයෙන්ම කයිබර් පක්තුන්ක්වා සහ බලුකිස්ථානය යන ප්‍රාන්ත දැඩි පීඩනයකට ලක්ව ඇති අතර, එම ප්‍රාන්ත අඛණ්ඩව බරපතල ආරක්ෂක තර්ජනවලට මුහුණ දෙමින් සිටී.

ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය අතර පවතින ආරක්ෂක නොසන්සුන්තාවය, මෙම අස්ථාවරභාවය ඉහළ යාමට බලපා ඇති ප්‍රධානතම සාධකයක් බව මෙම අධ්‍යයනය මඟින් පෙන්වා දෙයි.

මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා අඛණ්ඩව පැවතීම පකිස්ථානයේ දේශීය ස්ථාවරත්වයට විශාල අභියෝගයක් වනු ඇති බවට ද එහි අනතුරු අඟවා ඇත.

මෙම සොයාගැනීම් කරළියට පැමිණ ඇත්තේ පකිස්ථානයේ පවත්නා ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථානයට දොස් පැවරීම නතර කරන ලෙස එරට ආගමික විද්වතුන් සහ දේශපාලන නායකයන් රජයෙන් ඉල්ලා සිටින පසුබිමක ය.

ඔවුන් තර්ක කරන්නේ ඉස්ලාමාබාද් පාලනය විසින් කළ යුත්තේ රටේ අභ්‍යන්තර ආරක්ෂක ගැටලුවලට විසඳුම් සෙවීම සහ ඒවා කළමනාකරණය කරගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම බවයි.