මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට එංගලන්තය සමත් වුණා.
ඒ, ප්රබල ප්රංශ කණ්ඩායම ගෝල 6 ට 4 ක් ලෙස පරාජය කරමින්.
තරඟයේ වාර්තා වුණු මුළු ගෝල ගණන 10ක්.
ලෝක කුසලාන ඉතිහාසයේ තුන්වන ස්ථානය සදහා වු තරගයකදී වාර්තා වූ වැඩිම ගෝල ගණනද මෙය වනවා.
තරඟය අවසානයේදී කිලියන් එම්බාපේ ප්රමුඛ ප්රංශ කණ්ඩායම පිටියෙන් ඉවත්ව ගියේ ඉතා සංවේදීව හැඬූ කඳුළින්.
එසේ තිබියද එංගලන්ත කණ්ඩායම 1966 වසරෙන් පසු පාපන්දු ලෝක කුසලාන තරගාවලියක ලැබූ ඉහළම ජයග්රහණය ලෙස මෙය වාර්තා පොත්වල ලියවූණා.
තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම තමන් නතු කරගත්තේ එංගලන්ත කණ්ඩායමයි.
ඔවුන් පළමු විනාඩි 20 ඇතුළත ගෝල 2 ක් ලබා ගනිමින් ප්රංශයට දැඩි පීඩනයක් එල්ල කළා.
පළමු අර්ධය නිමාවන විට එංගලන්තය ගෝල 4 ක් ලෙස ඉදිරියෙන් සිටි අතර ප්රංශ කණ්ඩායමට කිසිදු ගෝලයක් ලබාගැනීමට හැකිව තිබුණේ නැහැ.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේදී ප්රංශය ප්රබල සටනක් ලබා දුන්නා.
සුපිරි ක්රීඩක කිලියන් එම්බාපේ ගෝල 2 ක් සහ බ්රැඩ්ලි බාර්කෝලා එක් ගෝලයක් ලබා ගනිමින් තරගය ගෝල 4 ට 3 ක් ලෙස සමීප කළා.
මෙම ගෝල ද්විත්වයත් සමඟ එම්බාපේ, ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙස ලියොනල් මෙසී තබා තිබූ වාර්තාවද පසුකර ගියා.
ඔහු මේ වන විට ලෝක කුසලාන තරඟවලදී ලබාගෙන ඇති ගෝල ගණන 22 ක්.
තරගයේ 87 වැනි විනාඩියේදී එංගලන්තයේ බුකායෝ සාකා දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් එංගලන්තයට පස්වන ගෝලය ලබා දුන්නා.
මේ සමග ඔහු ගෝල ත්රිත්වයක් හෙවත්
හැට්රික් එකක් ද සම්පූර්ණ කළ අතර ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගයකදී එංගලන්තය වෙනුවෙන් එලෙස හැට්රික් එකක් ලැබූ දෙවැනි ක්රීඩකයා වෙන්නේ සාකායි.
තරගයේ අතිරේක කාලයේදී ප්රංශයේ ඩෙම්බේලේ තවත් ගෝලයක් ලබා ගත්තා.
ඒ ප්රංශ කණ්ඩායමේ හතරවන ගෝලයයි.
එහෙත් අවසන් තත්පරයේදී ජූඩ් බෙලින්හැම් එංගලන්තය වෙනුවෙන් 6 වැනි ගෝලයත් වාර්තා කරමින් තරගයේ ජයග්රහණය තහවුරු කළා.
බෙලින්හැම් මේ තරගාවලිය පුරා ලබාගත් 7 වන ගෝලයද මෙයයි.
මේ අතර තරගාවලියේ අවසන් තරගය ආජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම තරඟය ශ්රී ලංකාවේ වේලාවෙන් හෙට අළුයම 12 යි 30 ට ආරම්භ කිරීමට නියමිතයි.




