දෙරට අතර මෑත ඉතිහාසයේ දරුණුතම ගැටුම ඇති වී මාස කිහිපයකට පසු, පාකිස්තාන ප්‍රාන්ත දෙකක පිහිටි ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම්වල මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් තමන් ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇෆ්ගනිස්තානය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, පාකිස්තාන රජය එම ප්‍රකාශය වහාම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබේ.

තාලිබාන් රජයේ ආරක්ෂක අමාත්‍යාංශය ‘X’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් කියා සිටියේ, ඇෆ්ගනිස්තාන දේශ සීමාවට මායිම්ව පිහිටි පාකිස්තානයේ බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා යන ප්‍රාන්තවල පිහිටි සන්නද්ධ කඳවුරු ඉලක්ක කර ගනිමින් ඇෆ්ගන් ගුවන් හමුදාව බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

මාස කිහිපයකට පසු කාබුල් පාලනය විසින් දියත් කරන ලද මෙම පළමු ප්‍රධාන ප්‍රහාරාත්මක මෙහෙයුම සිදු කළේ කෙසේ ද යන්න පිළිබඳව එහි නිශ්චිතව සඳහන් කර නොතිබුණි.

ලන්ඩන් නුවර පිහිටි ‘උපායමාර්ගික අධ්‍යයනයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ’ දත්තවලට අනුව ඇෆ්ගනිස්තානය සතුව ප්‍රහාරක ජෙට් යානා නොමැති වුවද, අවම වශයෙන් ගුවන් යානා 6ක් සහ හෙලිකොප්ටර් යානා 23ක් පවතින බව වාර්තා වේ.

එමෙන්ම තාලිබාන් බලකායන් සතුව මීට පෙර පාකිස්තානය සමඟ පැවති ගැටුම්වලදී ද භාවිතා කරන ලද ඩ්‍රෝන යානා පවතින බව ප්‍රකට කරුණකි.

"ඇෆ්ගනිස්තානයට එරෙහිව ප්‍රහාර සැලසුම් කිරීම සහ සංවිධානය කිරීම සඳහා ඇතැම් සතුරු බුද්ධි අංශවල සහයෝගය ඇතිව ක්‍රියාත්මක වූ මෙම කඳවුරු, මීට පෙර ද සිදු වූ මාරාන්තික ප්‍රහාර කිහිපයකටම පසුබිම් වී තිබුණා. මූලික තොරතුරුවලට අනුව, පූර්වයෙන් සැලසුම් කරන ලද ප්‍රධාන ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමට මෙම මෙහෙයුමට හැකි වුණා," යැයි ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳ කිසිදු තොරතුරක් ඔවුන් අනාවරණය කර නැත.