පාකිස්තාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ප්‍රධාන දේශපාලන බලකොටුව වන කයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයට ෆෙඩරල් රජය මගින් හදිසි නීතිය පැනවීමට එරෙහිව හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පුත් කසීම් ඛාන් සිය දැඩි කෝපය පළ කර තිබේ.

හමුදාපති අසීම් මුනීර්ගේ පාලනය දැඩි ලෙස විවේචනය කරමින් කසීම් අවධාරණය කළේ, පාකිස්තානය අයිති එහි ජනතාවට මිස හමුදාවට නොවන බවයි.

තවත් හමුදා මෙහෙයුමක් දියත් කිරීමට සාධාරණීකරණයක් ලෙස හමුදාපතිවරයා ත්‍රස්තවාදය නමැති ලේබලය භාවිත කරන බවටද ඔහු චෝදනා කළේය.

X ගිණුමේ සටහනක් තබමින් කසීම් ඛාන් පෙන්වා දුන්නේ මෙම පියවර හමුදාපති අසීම් මුනීර්ගේ නායකත්වයේ අසාර්ථකත්වය වසාගැනීමට දැරූ අසරණ උත්සාහයක් බවයි.

"මගේ පියා නිදහස් කරන ලෙස ඉල්ලා ජනතාව වීදි බැස සිටින මොහොතක, අසීම් මුනීර්ගේ පාලනය මේ ආකාරයට කයිබර් පක්තුන්ක්වා වෙත හදිසි නීතිය පනවා තිබෙනවා. බලුකිස්ථානය හෝ අසාද් කාශ්මීරය පාලනය කරගන්න බැරි වූ මුනීර්, බලයේ රැඳී සිටීමේ එකම අරමුණින් මිනිස් ජීවිත බිලිදෙමින් නැවතත් හමුදා මෙහෙයුම් සාධාරණීකරණය කරන්න හදනවා," යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබුණි.

ෆෙඩරල් රජය ගත් මෙම ඒකපාර්ශ්වික තීරණය වහාම හකුලා ගන්නා ලෙස ඉල්ලා සිටි කසීම් ඛාන්, කයිබර් පක්තුන්ක්වා හි ප්‍රජාතන්ත්‍රවාදී ජනවරමට ගරු කරමින් අත්අඩංගුවේ පසුවන දේශපාලන නායකයින් වහා නිදහස් කරන ලෙසද බලකර සිටියේය.