පාකිස්තානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් පවතින කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ ස්ථාන දෙකකදී ත්‍රස්තවාදීන් විසින් පොලිස් රථ පෙළකට සහ පොලිස් ස්ථානයකට එල්ල කරන ලද වෙන වෙනම ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 34 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු ප්‍රකාශ කරති.

ප්‍රහාරකයින් විසින් ලෝවර් ඩීර් දිස්ත්‍රික්කයේදී පොලිස් රථ පෙළක් ඉලක්ක කරගනිමින් අත්බෝම්බ සහ ස්වයංක්‍රීය ගිනිඅවිවලින් ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය සඳහන් කළේ අදාළ රථ පෙළ හයිඩර් හි ලාඩම් ටොප් ප්‍රදේශය පසුකර යමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. ප්‍රහාරකයින් ප්‍රථමයෙන් රථ පෙළ වෙත අත්බෝම්බ ප්‍රහාර එල්ල කර, පසුව දිගින් දිගටම දරුණු ලෙස වෙඩි තබා ඇත. මෙම ප්‍රහාරය අතරතුරදී ඔවුන් පොලිස් රථ දෙකකට ද ගිනි තබා විනාශ කර තිබේ.

තුවාල ලැබූ නිලධාරීන් වහාම රෝහල් ගත කර ඇති අතර ඔවුන් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති. තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව වැඩිදුර තොරතුරු අනාවරණය කරන බව පොලිසිය පැවසීය. මේ වන විට ආරක්ෂක අංශ විසින් අදාළ ප්‍රදේශය වටලා ප්‍රහාරකයින් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මේ අතර, බන්නු දිස්ත්‍රික්කයේ මිරියන් පොලිස් ස්ථානයට එල්ල කිරීමට ගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට ආරක්ෂක අංශ සමත්ව ඇති බව නිලධාරීහු පවසති. එහිදී පුපුරණ ද්‍රව්‍ය රැගත් වාහනයක් එහි ඉලක්කය වෙත ළඟා වීමට පෙර වටලා විනාශ කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

දෙපාර්ශවය අතර ඇති වූ වෙඩි හුවමාරුවේදී ප්‍රහාරකයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් 15 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 10 දෙනෙකුගේ තත්ත්වය අතිශය බරපතළය. වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් පෙෂාවර් දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා තිබේ.