එන්නත් ලබා ගැනීමේ අනුපාතය පහත වැටීම හේතුවෙන් බංග්ලාදේශය පුරා පැතිර යන සරම්ප රෝගය පාලනය කිරීම සඳහා එරට බලධාරීන් හදිසි දීපව්‍යාප්ත ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මේ වසරේ සරම්ප සහ ඒ ආශ්‍රිත සංකූලතා හේතුවෙන් අවම වශයෙන් ළමුන් 38 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් අගනුවර වන ඩකා (Dhaka), මයිමන්සිං (Mymensingh), චපායිනවාබ්ගන්ජ් (Chapainawabganj), පබ්නා (Pabna), නතෝර් (Natore) සහ රාජ්ෂාහි (Rajshahi) ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම සතියේ තහවුරු කළේ මේ වසර තුළ රට පුරා අවම වශයෙන් සරම්ප රෝගීන් 674ක් වාර්තා වී ඇති බවයි.

කාලරාමුව පිළිබඳ වැඩිදුර විස්තර සඳහන් නොකරමින්, සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 15 දෙනෙකු මිය ගොස් ඇති බව රජය ප්‍රකාශ කළා.

සෞඛ්‍ය සේවා අංශයේ ලේකම් කම්රුසමාන් චෞද්රි පැවසුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය ඇතිව සිදු කරන ලද සාම්පල 33ක රසායනාගාර පරීක්ෂණවලින් පසුව මෙම මරණ තහවුරු කර ඇති බවයි.