බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

පදවියෙන් පහකරන ලද හිටපු අගමැතිනී ෂීක් හසීනා නැවත බංග්ලාදේශයට පැමිණීමට සූදානම් වන බවට පළවූ වාර්තාත් සමග, පාලක බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායකයින්ගෙන් ජනාධිපතිවරයාට එල්ල වූ දැඩි දේශපාලන බලපෑම් හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2023 වසරේදී ධුරයට පත්වූ ෂහාබුදීන් මහතා, සිය ඉල්ලා අස්වීමේ ලිපිය තායිලන්තයේ සිට නැවත දිවයිනට පැමිණෙන පාර්ලිමේන්තු කථානායක හෆීස් උද්දීන් අහමඩ් මහතා වෙත භාර දීමට නියමිත අතර, සෞඛ්‍ය හේතූන් මත ඉල්ලා අස්වන බවයි ඔහු දක්වා ඇත්තේ.

2024 වසරේ පැවැති ශිෂ්‍ය අරගල මර්දනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින හිටපු අගමැතිනී ෂීක් හසීනා, නැවත බංග්ලාදේශයට පැමිණ අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් වන බව පසුගියදා ප්‍රකාශ කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසුව, දින 90 ක් ඇතුළත නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගත යුතු අතර, ඒ දක්වා පාර්ලිමේන්තු කථානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.