බොලිවියාවේ ‘වියාචා‘ ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරක් තුළ සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

එම පිපිරීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් පවසන්නේ.

මෙම පිපිරීම සිදුව ඇත්තේ පිරෝටෙක්නික් හෙවත් ගිනිකෙළි ද්‍රව්‍ය ගබඩා කර තිබූ කාලතුවක්කු රෙජිමේන්තු හමුදා කඳවුර තුළයි.

අදාළ පිපිරීමෙන් පුද්ගලයින් 81 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තවත් 07 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි බොලිවියානු ආරක්ෂක අමාත්‍ය අර්නස්ටෝ ජස්ටිනියානෝ පවසන්නේ.

පිපිරීමේ ප්‍රබලතාව හේතුවෙන් අසල පිහිටි නිවාස රැසකට ද හානි සිදුව තිබෙනවා.

සුන්බුන් අතර සෙවුම් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

කඳවුර තුළ තවදුරටත් අධික උෂ්ණත්වයක් පවතින බැවින් තවත් පිපිරීමක් සිදුවීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ප්‍රදේශවාසීන්ට එම ස්ථානයෙන් අවම වශයෙන් මීටර් 150 ක් වත් ඈතින් සිටින ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.

මෙම පිපිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති බොලිවියානු ජනාධිපති රොඩ්රිගෝ පාස් පිපිරීමට හේතුව සෙවීම සඳහා විනිවිදභාවයෙන් යුත් පුළුල් තාක්ෂණික පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.