යුක්‍රේනයේ ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් කලාපයේ පිහිටි පව්ලොග්‍රාඩ් නගරයේ වෙළඳ සංකීර්ණයකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 67 දෙනෙකු තුවාල ලබා ඇති බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ .

මහජනතාවගෙන් පිරී පැවැති මාවත් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අයිවන් වියිව්ස්කි පවසනවා.

ප්‍රහාරයෙන් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් සහ වාහන රැසකට ද දැඩි හානි සිදුව තිබෙනවා.

යුක්‍රේන මාධ්‍ය වාර්තා සඳහන් කළේ මීට පෙරද සාපොරීෂියා සහ සුමි යන නගරවල පිහිටි වෙළඳ සංකීර්ණ දෙකක් ඉලක්ක කර ගනිමින් රුසියානු ගුවන් ප්‍රහාර එල්ල වූ බවයි.

මේ අතර, සොචි නිවාඩු නිකේතන නගරය ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය එල්ල කළ මුහුදු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව රුසියාව ප්‍රකාශ කළා.

තවත් යුක්‍රේන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රුසියානු පාර්ශවය වැඩිදුරටත් සඳහන් කළේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්‍රේනය වෙත ආක්‍රමණය ආරම්භ කර වසර හතරහමාරකට වැඩි කාලයක් ගතවී ඇති අතර, දෙරට අතර සටන් තවදුරටත් දැඩි වෙමින් පවතිනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතයින් පිරිසක් මොස්කව්හිදී ජනාධිපති පුටින් සහ කියෙව්හිදී යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි හමුවී සාම සාකච්ඡා පැවැත්වුවද, එමගින් යහපත් ප්‍රතිඵලයක් අත්ව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.