රුසියාවෙන් එල්ල වන ඕනෑම බලපෑමක් හමුවේ වුවද යුක්‍රේනය වෙනුවෙන් සියයට සියයක සහයෝගය නොකඩවා ලබා දෙන බව බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් පවසනවා.

රුසියාව තුළට එල්ල වූ මෑතකාලීන ප්‍රහාර සඳහා බි්‍රතාන්‍යයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා භාවිත කර ඇති බව තහවුරු වීමත් සමඟ, මොස්කව් පාලනය විසින් බි්‍රතාන්‍යයට දැඩි ලෙස අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමින් බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.

”අපි වාසිදායක වෙලාවට විතරක් එකතු වෙන යහළුවෝ නෙමෙයි.

යුක්‍රේනයට අපගේ සහය අවශ්‍යම මොහොතේ අපි ඔවුන් සමඟ සිටිනවා.

ඒ ස්ථාවරය කිසි විටෙකත් වෙනස් වන්නේ නැහැ.” යනුවෙන් බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මීට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් බි්‍රතාන්‍යයේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය චෝදනා කළේ, එක්සත් රාජධානිය චේතනාන්විතවම යුක්‍රේන අර්බුදය තවදුරටත් උග්‍ර කිරීමට කටයුතු කරන බවයි.

මෙම ගැටුමට බි්‍රතාන්‍යය වැඩි වැඩියෙන් මැදිහත් වන තරමටම, ඔවුන්ට ගෙවීමට සිදුවන වන්දියද වැඩි වනු ඇති බවට රුසියානු තානාපති කාර්යාලය දැඩි ලෙස අනතුරු අඟවා තිබුණා.

පසුගිය දිනවල යුක්‍රේනය විසින් මොස්කව් අගනුවර සහ රුසියාවේ අනෙකුත් ප්‍රදේශ ඉලක්ක කරගනිමින් දීර්ඝ පරාසයක ප්‍රහාර වේගවත් කළ අතර, එහිදී තෙල් පිරිපහදු මෙන්ම රුසියාවේ විශාලතම අන්තර්ජාල විකුණුම් සමාගම වන ‘වයිල්ඩ්බෙරීස්‘ හි ගබඩා සංකීර්ණද ප්‍රහාරයට ලක් වුණා.