අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අමෙරිකානු බිලියනපති ව්‍යාපාරික ඊලෝන් මස්ක් අතර පැවති මිත්‍රත්වය බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කරනවා.

කලක් සමීප මිතුරන් ලෙස කටයුතු කළ මෙම ප්‍රබලයින් දෙදෙනා අතර මේ වන විට හුවමාරු වෙමින් ඇති විවේචනවලින් එය තහවුරු වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

අමෙරිකානු රජය එරට අඩු ආදායම්ලාභී ජනතාවට ලබාදෙන මෙඩිකේඩ් සහ මෙඩිකෙයා සෞඛ්‍ය ආධාර කප්පාදු කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් නීති සංශෝධනය කිරීමට පියවර ගැනීමත් සමග ඊලෝන් මස්ක් අමෙරිකානු ජනාධිපතිවරයාගේ උපදේශක තනතුරෙන් ඉල්ලා අස් වුණා.

ඒ, තමන් කාර්යබහුල බැවින් එම තනතුරේ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි යැයි පවසනමින්.

කෙසේවෙතත් තනතුරෙන් ඉවත්වීමෙන් පසු ඔහු ට්‍රම්ප්ගේ සෞඛ්‍යාධාර කප්පාදු කිරීමේ යෝජනාවට දැඩි විවේචන එල්ල කර තිබෙනවා.

මෙවැනි වාතාවරණයක් මධ්‍යයේ අමෙරිකාවට නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට කාලය පැමිණ තිබේදැයි ප්‍රශ්න කරමින් මහජන මත විමසීමක් සිදු කිරීමට ඊලෝන් මස්ක් සිය එක්ස් සමාජ ජාලය භාවිත කිරීමද කැපී පෙනෙන කරුණක්.

මෙවැනි තත්ත්වයන් හමුවේ ට්‍රම්ප් සහ මස්ක්ගේ මිත්‍රත්වය නිල වශයෙන් අවසන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

දෙදෙනා අතර පවතින මෙම විරසකය හමුවේ ඊලෝන් මස්ක්ට අයත් ටෙස්ලා සමාගමේ කොටස් මිල සියයට 14කින් පහත වැටී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.