ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමය දීර්ඝ කරමින් යුද්ධය අවසන් කිරීම සඳහා වන මූලික අවබෝධතා ගිවිසුමට දෙරටේ නායකයින් විද්‍යුත් ක්‍රමයට අත්සන් තබා ඇති බව නිල වශයෙන් වාර්තා වනවා.
ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක එස්මයිල් බගයි ටෙහෙරාන් නුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ”ඉස්ලාමාබාද් අවබෝධතා ගිවිසුම” ලෙස නම් කර ඇති මෙම එකඟතාව මේ වන විටත් බලාත්මක වී ඇති බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ප්‍රංශයේ පැවැත්වෙන ඨ 7 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙමින් සිටින අතරතුරයි.
ප්‍රංශයේ වර්සෙල්ස් මාළිගයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සමග පැවති රාත්‍රි භෝජන සංග්‍රයක් අතරතුරදී ඩොනල්ඩ් ට්‍රම්ප් ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
නායකයින් දෙපල ඩිජිටල් ක්‍රමයට මීට අත්සන් තැබීම හේතුවෙන්, හෙට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ නිල අත්සන් තැබීමේ උත්සවය අවලංගු කර තිබෙනවා.
කෙසේවෙතත්, දෙරටේ සාකච්ඡා කණ්ඩායම් ඉදිරි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා තවදුරටත් ජිනීවා නුවර රැඳී සිටිනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ධවල මන්දිර ප්‍රකාශකයෙකු ද මෙම විද්‍යුත් අත්සන් තැබීම තහවුරු කර ඇති අතර, පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ මෙම දරුණු යුධමය තත්ත්වය නිල වශයෙන් අත්හිටුවීමට මින් මඟ පෑදෙනවා.
පසුගිය පෙබරවාරි 28 වනදා ඇමරිකාව, ඉරානය සහ ඊශ්‍රායලය අතර හටගත් යුදමය ගැටුම්වලින් මාස හතරකට පසු එළඹි මෙම එකඟතාව කරුණු 14 කින් සමන්විතයි.
ලෝක තෙල් වෙළඳාමට අතිශය තීරණාත්මක ‘හෝමූස් සමුද්‍ර සන්ධිය‘ යළි විවෘත කිරීම මෙහි ප්‍රධාන අරමුණක් වනවා.
ට්‍රම්ප් පාලනාධිකාරිය පවසන්නේ මෙය ”ක්‍රියාකාරීත්වය මත පදනම් වූ” ගිවිසුමක් වන අතර, ඉරානය මෙහි කොන්දේසි නිසි ලෙස ඉටු කරන්නේ නම් පමණක් ඔවුන්ට ප්රතිලාභ හිමිවන බවයි.
මෙම ගිවිසුම ඉරානය ලබාගත් සුවිශේෂී ජයග්රයහණයක් ලෙස එරට බලධාරීන් හඳුන්වනවා.
ඉරාන ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බගර් ගාලිබාෆ් ‘ෆාර්ස්‘ පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණේ, මෙම ගිවිසුම හරහා ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව තැබූ අරමුණු සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවයි. ”මෙම ගිවිසුම ඇමරිකාවේ පරාජය සනිටුහන් කරන ලේඛනයක්” යැයි ඔහු පවසා තිබෙනවා.




