පාකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගේ සමීප ඥාතියෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු විදේශීය කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කිරීමේ චෝදනා මත එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස පැහැර ගැනීමට සහ අපයෝජනයට ලක්ව ඇත්තේ නෙදර්ලන්ත සහ වෙනිසියුලානු ජාතික කාන්තාවන් දෙදෙනෙකි.

මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ පියා විසින් ස්පාඤ්ඤයේ සිට තම දියණිය අතුරුදහන් වී ඇති බවට කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය, විශේෂ මෙහෙයුමකින් පසු ඔවුන්ව බේරා ගැනීමට සමත්ව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවෙකු වන අහමඩ් රාසා ධාර්, පාකිස්ථානයේ වත්මන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය ඉෂාක් ධාර්ගේ සමීප ඥාතියෙකු බව මාධ්‍ය වාර්තා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය දිස්ත්‍රික් රජයේ නීතිඥ නසාර් ඉක්බාල් මාධ්‍ය වෙත තහවුරු කළේ, මෙය පුද්ගලයන් කිහිපදෙනෙකු සම්බන්ධ වූ දරුණු ගණයේ සමූහ දූෂණයක් සහ පැහැරගැනීමක් බවයි. සැකකරුවන් විසින් මෙම කාන්තාවන් දෙදෙනා රහසිගත ස්ථානයක සිරකර තබාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

පොලිස් විමර්ශනවලට අනුව, පසුගිය ජුනි 29 වැනිදා මෙම කාන්තාවන් දෙදෙනාව පැහැරගෙන ඇති සන්නද්ධ කල්ලිය, ඔවුන්ව නිදහස් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක කප්පම් මුදලක් ඉල්ලා ඇත. එමෙන්ම ඔවුන් සිරකර තබාගෙන සිටි කාලය පුරාම අවස්ථා කිහිපයකදීම බරපතළ ලෙස ලිංගික අතවරවලට ලක් කර ඇති බවටද පොලිසිය චෝදනා කරයි.

මෙම අපරාධයට සම්බන්ධ තවත් පස්වන සැකකරුවෙකු දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පාකිස්ථාන පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.