ශ්රී ලංකාවේ සඟ අරගලය අතරතුර ඉන්දියාවේ කොක්රෝච් උද්ඝෝෂකයන් ද යළිත් වීථි සටන් ආරම්භ කිරීමට සූදානම් වනවා.
විභාග අක්රමිකතාවලට එරෙහිව විභාග කොමසාරිස්වරයා ඉවත් කරන්නැයි බලකරමිනුයි ඔවුන් මීට පෙර උද්ඝෝෂණ සිදු කළේ.
මෙම උද්ඝෝෂණ හේතුවෙන් විභාග කොමසාරිස්වරයා ධුරයෙන් ඉවත් කිරීමට ඉන්දීය රජයට සිදුවුණා.
එසේ තිබියදී කොක්රෝච් උද්ඝෝෂකයන් දැන් නැවතවරක් වීථි සටන් ආරම්භ කිරීමට සූදානම් වන්නේ මැතිවරණ ප්රතිසංස්කරණ ඉල්ලා සිටිමින්.
තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් ‘කොක්රෝච් ජනතා පක්ෂය’ හෙවත් CJP විසින් මෙම උද්ඝෝෂණ සංවිධාන කරනවා.
උද්ඝෝෂණ සඳහා අද නවදිල්ලි නුවර කොනොට් ප්ලේස් හි පිහිටි සෙන්ට්රල් පාර්ක් වෙත පැමිණෙන ලෙසයි ඔවුන් සිය ආධාරකරුවන්ට ආරාධනා කර ඇත්තේ.
මැතිවරණ නාමලේඛන සංශෝධනයේදී ඡන්දදායකයින් කෝටි 13කට වැඩි පිරිසකගේ නම් ඉවත් කර ඇති බවට කොක්රෝච් ජනතා පක්ෂය චෝදනා කරනවා.
මෙම අක්රමිකතාව හේතුවෙන් ප්රධාන මැතිවරණ කොමසාරිස්වරයා සේවයෙන් නෙරපා හැරිය යුතු බවටයි ඔවුන් බල කර සිටින්නේ.
මේ අතර කොක්රෝච් ජනතා පක්ෂයේ නායකයින් දෙදෙනෙකු පොලීසිය විසින් ඉකුත්දා අත්අඩංගුවට ගැනුනා.
ඔවුන් එලෙස අත්අඩංගුවට ගැනුනේ තහනම් කරන ලද ජන්තර් මන්තර් විරෝධතා භූමියට ඇතුළු වූ බවට චෝදනා කරමින්.
අත්අඩංගුවට ගැනීමෙන් පසු නායකයන් දෙදෙනා දින 5ක බන්ධනාගාර අඩස්සියට පත්කර ඇතැයි ඉන්දීය මාධ්ය පවසනවා.
මීට අමතරව උද්ඝෝෂණ සඳහා අද පැමිණෙන්නැයි යෝජනා කර ඇති සෙන්ට්රල් පාර්ක් ප්රදේශය දැඩි මාර්ග බාධක යොදමින් ආරක්ෂාව තර කර ඇති බවයි ඉන්දීය මාධ්ය වැඩිදුරටත් පවසන්නේ.
මෙම පරිශ්රය උද්ඝෝෂණ සඳහා අනුමත ස්ථානයක් නොවීම නිසා පොලිසිය මෙම පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, අත්අඩංගුවට පත්වීමේ අවදානම පවතිද්දී වුවත් උද්ඝෝෂණ ඉදිරියටම ගෙන යන බවත්, අගනුවරට පැමිණීමට නොහැකි ජනතාවට තම ප්රදේශවල සිට ජාතික කොඩිය ඔසවා විරෝධය පාන ලෙසත් සංවිධානයේ නිර්මාතෘ අභිජීත් දිප්කේ ප්රකාශ කර තිබෙනවා.




