හෝමුස් සහ යේමන වෙරළට ඔබ්බෙන් නාවික යාත්රාවලට ප්රහාර – සෞදියේ හමුදා හෙලිකොප්ටරයකුත් කඩා වැටෙයි
මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ හෝමුස් සමුද්රසන්ධිය සහ යේමන වෙරළාසන්න මුහුදු තීරයේදී නාවික යාත්රා ඉලක්ක කර ගනිමින් ප්රහාර එල්ල වී තිබෙනවා.
බ්රිතාන්ය සමුද්රීය වෙළඳ මෙහෙයුම් ආයතනය (UKMTO) සඳහන් කළේ හෝමුස් සමුද්රසන්ධිය ආසන්නයේ ගමන් ගත් ටග් බෝට්ටුවකට ප්රහාර දෙකක් එල්ල වී ඇති බවයි.
ඊට අමතරව යේමන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ ගමන් ගත් ද්රවීකෘත ස්වාභාවික වායු (LNG) ප්රවාහන නෞකාවකට ද සන්නද්ධ පිරිසක් විසින් වෙඩි තබා තිබෙනවා.
මේ අතර, රියාද් අගනුවර ආසන්නයට පැමිණි තවත් ඩ්රෝන යානා කිහිපයක් සාර්ථකව විනාශ කළ බව සෞදි අරාබිය ප්රමුඛ සංධානය පවසනවා.
එහෙත් සෞදි අරාබියේ නජ්රාන් ප්රදේශයේදී සිදු වූ හමුදා හෙලිකොප්ටර් යානා අනතුරකින් සෞදි සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
අනෙක් අතට, හෝමුස් සමුද්රසන්ධිය නැවත විවෘත කිරීම සඳහා වූ සප්තවිධ සැලැස්මක් කටාර් රාජ්යය හරහා එක්සත් ජනපදය වෙත යොමු කර ඇති බව ඉරාන විදේශ අමාත්ය අබ්බාස් අරග්රාචි ප්රකාශ කළා.
ඊට අදාළ ඉදිරි තීරණය ගැනීම මේ වන විට වොෂින්ටනය සතුව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, බටහිර තීරයේ සංචාරයක නිරත වූ යුරෝපීය රාජ්යතාන්ත්රික පිරිසකට ආක්රමණික ඊශ්රායල් පදිංචිකරුවන් පිරිසක් විසින් පහර දී තිබෙනවා.
මෙලෙස ප්රහාරයට ලක්ව ඇත්තේ බෙල්ජියම සහ පෝලන්තය යන රටවල නියෝජිතයින් ඇතුළත් දූත පිරිසක් වන අතර, එහිදී ප්රංශ නගරාධිපතිවරයෙකු පහරදීමට ලක්ව ඇති බවත් ඔවුන් ගමන් ගත් වාහනවලට හානි සිදුව ඇති බවත් විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කළා.




