මෙම මස අවසානයේදී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිත G20 සමුළුව වර්ජනය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ එරට රැඳී සිටින සුදු ජාතිකයින් මහා පරිමාණයෙන් පීඩාවට පත්කරන බවට චෝදනා කරමින්.

ලෝකයේ දැවැන්තම ආර්ථිකයන්හි නායකයින් සහභාගි වන මෙම දැවැන්ත සමුළුව දකුණු අප්‍රිකාවේ පැවැත්වීම සම්බන්ධයෙන්ද අමෙරිකානු ජනාධිපතිවරයා සිය බලවත් විරෝධය පලකර ඇතිබවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

දකුණු අප්‍රිකානු විදෙස් කටයුතු අමාත්‍යංශය පවසන්නේ මෙම තීරණය පසුතැවිලි විය හැකි ස්වරූපයේ තීරණයක් බවයි.

එරට විපක්ෂය නියෝජනය කරන සුදු ජාතික හෝ අප්‍රිකානු කිසිදු දේශපාලන පක්ෂයක් දකුණු අප්‍රිකාව තුළ මෙවන් ජන සංහාරයක් සිදුවන බවට එල්ලවන චෝදනා නොපිළිගන්නා බවද විදෙස් මාධ්‍ය දක්වා තිබෙනවා.

මෙම මතය දැඩිව දරන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනක ධවල මන්දිරයට පැමිණි දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා ඉලක්ක කර දැඩි වාග් ප්‍රහාරයක්ද එල්ල කරනු ලැබුවා.

කෙසේවෙතත් දකුණු අප්‍රිකානු රජය අවධාරණය කර ඇත්තේ මෙම මතය කිසිසේත් පිළිනොගන්න බවයි.