අයි සී සී ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරඟාවලිය අදින් ආරම්භ වනවා. තරඟාවලිය සමාරම්භ කරමින් පළමු තරඟය පැවැත්වෙන්නේ සත්කාරක කණ්ඩායම් දෙක වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරයි. ගුවාති හිදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම තරඟය සඳහා දෙපිළම හොඳ සූදානමකින් යුතුව සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. අද සිට නොවැම්බර් මස දෙවනදා දක්වා පැවැත්වෙන මෙම තරඟාවලිය යටතේ පැවැත්වීමට නියමිත සමස්ත තරඟ සංඛ්‍යාව 31ක්. ඉන් තරඟ 11ක් මෙරටදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙවර ලෝක කුසලාන කාන්තා තරඟාවලිය යටතේ මෙරටදී පැවැත්වෙන පළමු තරඟය ලබන මස දෙවනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. බංග්ලාදේශ සහ පකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් එහිදී තරඟ වදිනවා. මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය නොවැම්බර් මස දෙවනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.