2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඉහළම වටිනාකම දිනූ ක්‍රීඩකයින් 15 දෙනා අතරට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඇතුළත් වීමට අවස්ථාව උදා වුණා.
ඒ අතරින් වැඩිම වටිනාකමක් හිමි වූයේ මතීෂ පතිරණටයි.
ඔහුට ඉන්දියානු රුපියල් කෝටි 18ක ඉහළ වටිනාකමක් හිමි වුණා.
එය මෙවර වෙන්දේසියේදි ක්‍රීඩකයෙකුට හිමි වූ දෙවන ඉහළම වටිනාකමයි.
මතීෂ පතිරණ මිලදී ගත්තේ කොල්කටා නයිඩ් රයිඩර්ස් කණ්ඩායම විසින්.
මිට අමතරව පැතුම් නිස්සංක ඉන්දීය රුපියල් කෝටි 04කට මිලදී ගත්තා.
ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින්.
පළමුවරට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියකට ඉදිරිපත් වූ ඔහුගේ මූලික ලන්සුව දැක්වුණේ ඉන්දීය රුපියල් ලක්ෂ 75ක් ලෙසයි.
එමෙන්ම වනිඳු හසරංගද ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි වුණා. ඒ, ඉන්දීය රුපියල් කෝටි 2කටයි.
ඔහු මිලදී ගත්තේ ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම විසින්. ඔහුගේ මූලික ලන්සුව දැක්වුණේ ද ඉන්දීය රුපියල් කෝටි දෙකක් ලෙසයි.
මෙවර ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කර සිටි මහීෂ් තීක්ෂණ, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, බිනුර ප්‍රනාන්දු සහ ට්‍රැවින් මැතිව් යන ක්‍රීඩකයින් කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.
කෙසේවෙතත් තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පිරිසක් 2026 අයි පී එල් ක්‍රිකට් තරඟාවලිය සඳහා එක් වීමට නියමිතයි.
ඒ, ඔවුන් මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර තවදුරටත් සිය කණ්ඩායම්වල රඳවා ගැනීමට ඒවායෙහි හිමිකරුවන් තීරණය කිරීම හේතුවෙන්.
ඒ අනුව නුවන් තුෂාර රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමද ඉෂාන් මාලිංග හා කමිඳු මෙන්ඩිස් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමද, දුෂ්මන්ත චමීර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමද නියෝජනය කිරීමට නියමිතයි.




