ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා අඛණ්ඩ සහය ලබාදෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යළි තහවුරු කර තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර පැවති හමුවකදීයි.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන 2026 ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදුව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරත්වය සඳහන් කරමින් එහි කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා නිකුක් කළ එක්ස් පණිවිඩයක මේ බව සඳහන්.

මේ අතර, ස්විට්සර්ලන්තයේ පැවැති ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ නියෝජිතයින් සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වී තිබෙනවා.

එහිදී ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් ජෝසෆ් සිකේලා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව ශක්තිමත් කරමින් දෙපාර්ශවයේ හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම කෙරෙහි අවධානය යොමු කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා සමගද සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවත්නා සම්බන්ධතාවය සහ අනාගත සහයෝගීතාවය ශක්තිමත් කිරීම කෙරෙහි එහිදී අවධානය යොමුව තිබෙනවා.