පවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ප්‍රාග්ධන වියදම් ලෙස කොපමණ මුදල් වෙන් කළද ප්රශස්ත මට්ටමින් ඒවා වැය කර අවශ්‍ය භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීමට මෙතෙක් පැවති රාජ්‍ය යාන්ත්‍රණය අසමත් වීම හේතුවෙන් මෙරට ජනතාවට සංවර්ධන අවස්ථා බොහොමයක් මඟහැරී ගිය බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
එමෙන්ම ඇතැම් අවස්ථාවල අයවැය සකස් කිරීමේදී වියදම් නොවී ඉතිරි වන මුදල් පුරෝකථනය කරන තත්ත්වයක් රටේ තිබූ බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා අද කිසිදු ප්‍රමාදයකින් තොරව අවශ්‍ය මුදල් නියමිත පරිදි ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබෙන බවද සඳහන් කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බවකියා සිටියේ අමාත්‍යාංශ ලේකම්වරුන් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මූලික වගකීම වන්නේ වෙන් කර ඇති ප්‍රතිපාදන නිසි ලෙස කළමනාකරණය කරමින් අපේක්ෂිත භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීම බවත්, යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම යනු ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභය අහිමි වීමක් බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.
2026 වසරට අදාළව අමාත්‍යාංශ මට්ටමින් සැලසුම් කර ඇති ව්‍යාපෘති සහ ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ මෙහිදී වෙන් වෙන්ව කරුණු ඉදිරිපත් කෙරුණා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.




