මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ආර්ථිකය ප්‍රධාන තර්ජනයකට මුහුණ දෙමින් සිටින බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්‍ෂ ෆාති බිරෝල් අනතුරු අගවා තිබෙනවා.

එය 1970 දක්‍ෂයේ සහ රුසියාව 2022 වසරේ යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් ඇති වූ බලපෑමට වඩා දරුණු තත්ත්වයක් බවයි ඔහු පවසා ඇත්තේ.

පවතින යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා බලශක්ති වත්කම්වලින් සියයට 40 ක් දරුණු ලෙස හෝ ඉතා දරුණු ලෙස හානි වි ඇති බවද ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්‍ෂවරයා පෙන්වා දී තිබෙනවා.

ගෝලීය බොරතෙල් මිල ඉහළයාම පාලනය කිරීම සදහා බොරතලේ බැරල් මිලියන 400 ක් මුදා හැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් මෙම මස මුලදී එකගතාව පළ කර තිබුණා.

අවශ්‍ය වුවහොත් තත්ත්වයන් විශ්ලේෂණය කර එම ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

අද උදෑසන වනවිට බ්‍රෙන්ට් වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 112 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, යුද්ධ්‍ය සිව් වන සතියට එළඹෙන විට අමෙරිකාව හරහා ඉරානය අතර විරසකය තවදුරටත් උත්සන්නවීමේ තත්ත්වයත් සමගයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර මකා දමන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා අනතුරු අගවනු ලැබුවා.

එවැනි ප්‍රහාරයක් එල්ල කළහොත් මැදපෙරදිග කලාපයේ තීරණාත්මක යටිතල පහසුකම් සහ බලශක්ති පහසුකම් ආපසු හැරවිය නොහැකි ලෙස විනාශ කරන බවට ඉරානය ද ප්‍රතිචාර දැක්වූවා.

දෙපාර්ශවය අතර සිදු කෙරෙන තර්ජනාත්මක ප්‍රකාශයන් මධ්‍යයේ ආසියානු කලාපයේ ප්‍රධානතම කොටස් වෙළදපොල ගණනාවක් පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ජපානය, හොංකොං, චීනය, සිංගප්පූරුව, පිලිපීනය සහ දකුණු කොරියාවේ ප්‍රධාන කොටස් වෙළදපොල දර්ශක අද දිනයේදී එලෙස පසුබෑමකට ලක්ව ඇති බව එම වාර්තාවල සදහන්.

මේ අතර ඉරාන ඩ්‍රෝන යානා එන්ජින් නිෂ්පාදනය කරන ස්ථානයකට ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු ආරක්‍ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා.

ඉරාන ඉස්ලාමීය විප්ලවාදී ආරක්‍ෂක බලකාය විසින් භාවිත කරන ගුවන් යානා සදහා ගෑස් ටර්බයිනර් එන්ජින් නිපදවා ඇත්තේ ද එම ස්ථානයේදි බවටයි අමෙරිකානු ආරක්‍ෂක අංශ ප්‍රකාශ කර ඇත්තේ.