දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දුන්නා.

කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ මෙම චෝදනා භාරදීම සිදු වුණා.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කර තිබූ සිතාසියකට අනුව විත්තිකාර කුමාර ජයකොඩි මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටි බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියම කළා.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි මස 6 වනදා කැදවන ලෙසයි අධිකරණය නියම කළේ.

2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස සේවය කරමින් ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සඳහා සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක දී පුද්ගලික සමාගමකට වාසියක් අත්වන ආකාරයෙන් කටයුතු කරමින්.

රජයට රුපියල් අසූ අට ලක්‍ෂ පනස් නව දහස් 708 ක පාඩුවක් සිදුකිරීම තුළින් ”දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මගින් අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.