අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් රටට ලබා දීමේ අපේක්ෂාවෙන් සිදුකරන සාකච්ඡාවක් ලබන සඳුදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

බුද්ධ ශාසනල ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින පොහොය කමිටුවේ සාමාජිකයන් වන සාම්ප්‍රදායික පංචාග ලිත් කතාවරු මගින් 2025 වර්ෂය සදහා අලුත් අවුරුදු නැකැත් සම්පාදනය කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පියවර ගනු ලැබුවා.

කෙසේවෙතත් 2026 වර්ෂය සදහා අලුත් අවුරුදු නැකැත් සම්පාදනයට කණ්ඩායම් දෙකක් ඉදිරිපත්වීම නිසා පොදු එකඟතාවකට එළඹීමේ අරමුණින් අවස්ථා 4කදී එකී කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වා ඇති බවයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ සදහා රාජ්‍ය අස්පර්ශනීය කලා උරුම සහ සාම්ප්‍රදායික කලා අනු මණ්ඩලයේද අදහස් විමසා තිබෙනවා.

එහෙත් මේ වනතුරු මෙම පාර්ශවයන් අතර අලුත් අවුරුදු නැකැත් පිළිබදව එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකි වි ඇති බවයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පැවසුවේ.

පසුගිය දින කිහිපය තුළ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැත් සම්පාදනය පිළිබදව මාධ්‍ය තුළ සංසරණය වන ප්‍රවෘත්ති හේතුවෙන් ජනතාව තුළ අලුත් අවුරුදු නැකැත් පිළිබද අවිනිශ්චිතතාවයක් උද්ගතව ඇති බව නිරීක්‍ෂණය වන බවද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

එබැවින් පවතින ගැටළු නිරාකරණය කර අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් ලබාදීමේ අපේක්‍ෂාවෙන් ලබන සදුදා පැවැත්වෙන සාකච්ඡාව කැඳවා ඇති බවද එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

අලුත් අවුරුදු චාරිත්‍ර ඇතුළු රටේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් ප්‍රවර්ධනය කිරීම සඳහා බුද්ධ ශාසනල ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිරන්තරයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවත්ල ඉදිරියේදීද ඒ සඳහා තවදුරටත් කැපවී කටයුතු කරනු ඇති බවත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කල මාධ්‍ය නිවේදනයක වැඩිදුරටත් සඳහන්.