2026 නව වසරට අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට නැවත ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරා ගත් ජාතියක් ලෙස බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අභියෝග රැසක් මධ්‍යයේ වුවද, ගෙවුණු 2025 වසර ජාතික අභිලාෂ මත පදනම් වූ තිරසාර සංවර්ධනයේ අඩිතාලම සකස් කළ වසර වූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

2026 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

නව වසරක උදාව අපට ගෙවී ගිය වසරේ අත්දැකීම් සමාලෝචනයට අවස්ථාව සලසා දෙන අතරම, නව වසර ගැන සුබවාදී ආකල්පවලින් යුතුව යළි සැලසුම් කරන්නට අවස්ථාවක් උදා කරනු ලබනවා.

අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සමඟ නොසැලෙන අදිටනින් සහ විශ්වාසයෙන් යුතුව සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගැනීමට සියලු දෙනාට ආරාධනා කරන බවත් උදා වූ 2026 නව වසර සියලු යහ-පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවායි ශුභාශිංසනය කරන බවත් ජනාධිපතිවරයා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සදහන්.

මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියද 2026 නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
නව දේශපාලන සංස්කෘතියක් මත රාජ්‍ය පාලනයේ විනිවිදභාවය තහවුරු කිරීමටත්, දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් උදෙසා වන අඩිතාලම සැකසීමටත් රජයට හැකි වූ බව සිය විශ්වාසය යැයි අග්‍රාමාත්‍යවරිය පවසනවා.

ආර්ථික ස්ථාවරත්වය, ජාත්‍යන්තර වශයෙන් අපේ රට පිළිබඳව ඇතිවෙමින් පවතින සුබවාදී ධනාත්මක ආකල්ප මෙන්ම විනිවිදභාවයෙන් යුතු පාලන ක්‍රමවේදයක් සහ නීතියේ ස්වාධිපත්‍ය තහවුරු කිරීම වැනි ප්‍රධාන අංශ ගණනාවක් ඔස්සේ 2025 වසර පිළිබඳ තෘප්තිමත් විය හැකි බවද අග්‍රාමාත්‍යවරිය සිය නව වසරේ සුබ පැතුම් පණිවිඩය මගින් පෙන්වා දී තිබෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක සහ තිරසර වෙනසක් සනිටුහන් කරන අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීම ඇතුළු, රාජ්‍ය සේවයේ සෑම ක්ෂේත්‍රයක්ම ඩිජිටල්කරණය කිරීම, නව අදහස් සහිත ව්‍යවසායකයින්ට, කලාකරුවන්ට සහ නිර්මාණකරුවන්ට ගෝලීය මට්ටමින් නැගී සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ වගකීම රජය ඇතුළු සමස්ත ජනතාව වෙත පැවරෙන බවයි ඇය පෙන්වා දුන්නේ.

නව ජවයකින් සහ අපේක්ෂාවෙන් යුතුව 2026 වසර වෙත පියවර තැබීමට සියලු දෙනාට ඇරයුම් කරන බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සදහන්.

මේ අතර විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද 2026 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. නව වසර අපගේ මාතෘ භූමියට අභියෝගාත්මක වසරක් වනු නොඅනුමානයි.

එය මැනවින් හඳුනා ගෙන හැඟීම්වලට නොව බුද්ධියට අවකාශය සලසා දී කටයුතු කිරීමට අප සියලු දෙනා අදිටන් කර ගත යුතු බව විපක්‍ෂ නායකවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ සදහන්.