ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වෙන්නේ දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඒ හේතුවෙන් අනිද්දා සිට දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්‍ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව අද රාත්‍රියේ නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වලට වැසි අපේක්‍ෂා කරන අතර ඌව පළාතේත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක තද වැසි අපේක්‍ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.