ඉන්දියාවේ සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය, ආචාර්ය එස්. ජෙයශංකර් මහතා අතර හමුවක් සිදුවුණා.

එහිදී දෙරට අතර සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සහ සංවර්ධන අවස්ථා මෙන්ම සුබසාධන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබෙනවා.

එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මොහොතේ ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය සිහිපත් කළ ටිල්වින් සිල්වා මහතා ඒ සම්බන්ධව සිය ස්තුතිය පළ කරන බවද ඉන්දීය විදේශ කටයුතු පිළිබද අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කළා.

ඉන්දියාව සැම විටම ශ්‍රී ලංකාවට විශ්වාස කළ හැකි හිතවත් මිතුරෙකු ලෙස පවතිනු ඇති බවයි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ ආරාධනයකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් ඉන්දියාවේ මෙලෙස සංචාරයක නිරතව සිටිනවා.