පවතින නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට එරට ආගමන විගමන ආයතනය පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ බව සඳහන් කළා.

ඒ අනුව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රි ලාංකිකයින් ඇතුළු විදේශිකයින්ගේ මෙම වසරේ ජූනි මස 12 වන දිනට පසු අවසන් වන ඊරැ1 වීසා කාණ්ඩයට අයත් සාමාන්‍ය රැකියා වීසා ඇතුළු තවත් වීසා කාණ්ඩ කිහිපයක් මෙම වසරේ නොවැම්බර් මස 30 වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.

මේ වන විට 20,000ක පමණ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිරිසක් ඊශ්‍රායල් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිනවා.

ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තරයෙන් අවධානයෙන් සිටින බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් තීව්‍ර වුවහොත් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට ද රජය සූදානමින් සිටිනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ දැනටමත් ශ්‍රි ලංකාවට යාමට ඉල්ලුම් කර ඇති ශ්‍රමිකයින් වෙනත් රාජ්‍යයන් හරහා හෝ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

එසේම තත්ත්වය සමනය වන තෙක් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් ඊශ්‍රායල් වෙත යැවීම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.