2023 වසරට අදාලව 2024 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ සමාරම්භක උත්සවය අද පැවැත් වෙනවා.

කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එය කිළිනොච්චියේදී පැවැත් වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එම උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුසලතා දැක් වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනෙකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීම එම වැඩසටහන යටතේ සිදු කෙරෙනවා.

පළාත් අනුව ක්‍රියාත්මක වන එම වැඩසටහනේ පළමු වැඩසටහනයි කිළිනොච්චියේදී අද පැවැත්වෙන්නේ.

2023 වසරේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක් වූ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල විශිෂ්ටයන් එහිදී ඇගයීමට ලක් කෙරෙනවා.

ඉදිරියේදී අනෙකුත් දිස්ත්‍රික්කවලද එලෙස දක්ෂතා දැක් වූ සිසුන් ඇගයීමට ජනාධිපති අරමුදල කටයුතු සූදානම් කරමින් සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.