2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ දෙවන කාණ්ඩයේ තීරණාත්මක තරගයක් අද රාත්‍රියේ පැවැත්වෙනවා.

ඒ, එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතරයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි.

එංගලන්ත කණ්ඩායම දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින අතර නවසීලන්ත කණ්ඩායම මෙම තරගය ජය ගත හොත් ඔවුන් ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

යම් හෙයකින් නවසීලන්ත කණ්ඩායම මෙම තරගය පරාජයට පත්වුවහොත් දෙවන කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - පකිස්තාන තරගයේ ප්‍රතිඵලය මත තීරණයවීමට නියමිතයි.

හෙට පැවැත්වෙන තරගයෙන් පකිස්තාන කණ්ඩායම පරාජයට පත් වුවහොත් නවසීලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

හෙට තරගය පකිස්තාන කණ්ඩායම ජයගහ හොත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම ඔවුන්ගේ දළ ලකුණු වේගය මත තීරණයවීමට නියමිතයි.