කොළඹ මහ නගර සභා අයවැයේදී ආණ්ඩු පක්ෂයට පක්ෂව ඡන්දය ප්රකාශ කළේ යැයි චෝදනා කරමින් සිය මන්ත්රී ධුරය අහෝසි කිරීමට ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ගෙන තිබෙන තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ කොළඹ මහ නගර සභාවේ මන්ත්රීවරියක වන සොහාරා බුහාරි මහත්මිය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එහි වග උත්තරකරුවන් ලෙස ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ නායක රවුෆ් හකීම් මහතා, මහලේකම් නිසාම් කාරියප්පර් මහතා, කොළඹ තේරීම් භාර නිලධාරි, ඇතුළු පිරිසක් නම් කර ඇතැයි සදහන්.
මෙම පෙත්සම තුළින් පෙත්සම්කාරිය කියා සිටින්නේ කොළඹ මහ නගර සභා අයවැයේදී ආණ්ඩු පක්ෂයට සහාය පළ කරමින් ඡන්දය ප්රකාශ කළේ යැයි චෝදනා කරමින් සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය තීරණය කළ බවයි.
2025 වසරේ දෙසැම්බර් මස 31 වනදා ඉදිරිපත් කෙරුණු අදාළ අයවැය තුළ මහජන හිතවාදී සාධනීය යෝජනා රැසක් ඇතුළත්ව තිබූ බැවින් තමන් ඊට පක්ෂව ඡන්දය ප්රකාශ කළ බවත් ඇය සඳහන් කර තිබෙනවා.
සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර තිබූ බවයි ඇය සඳහන් කර ඇත්තේ.
කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඇය අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.
ඊට අමතරව සිය මන්ත්රී ධුරය අහිමි කරමින් ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය විසින් නිකුත් කළ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුව ප්රකාශයට පත් කරනතුරු තමන්ට අඛණ්ඩව කොළඹ මහ නගර සභා මන්ත්රී ධුරයේ කටයුතු කිරීමට අවසර දෙන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇතැයි සදහන්.




