ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තමරා කුමාරි අබේරත්න නමැති නීතිඥවරිය අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී පොලිස් භාරයට ගනු ලැබූ රුපියල් කෝටි දෙක හමාරක් පමණ වටිනාකමකින් යුත් හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර් රථය වෙනත් අයකගේ නමින් තිබුණද එය එම නීතිඥවරියට අයත් වාහනයක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරින්
එම රථය විලප්‍රඩ් දිසානායක යන අයගේ නමින් තිබුණ ද ඔහු විසින් ලබාදී ඇති ප්‍රකාශ වලට අනුව අදාළ රථය මෙම නිතිඥවරිය ඇයගේ මුදල් වලින් මිලදී ගෙන ඇති බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.

සැකකාර නීතිඥවරියට එම වාහනය මිලදී ගැනීම සඳහා මුදල් යොදා ඇත්තේ කුමන ආකාරයෙන්ද යන කරුණ පිළිබඳ විමර්ශන සිදු කරන බව කි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇයගේ බැංකු ගිණුම් වල සංසරණය වී ඇති මුදල් ගැන විමර්ශන සිදු කරන බවත් පැවසුවා.

මෙම සැකකාර නීතිඥවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදු කරන බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නා.

ගනේමුල්ල සංජීව ඝාතනය සිදු කළ බව කියන වෙඩික්කරුට මෙම නීතිඥවරිය විසින් ආධාර අනුබල දී ඇතැයි පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙඩික්කරුට අවශ්‍ය ටයි පටි දෙකක්, නීතිඥවරුන්ගේ වාහනවල භාවිතා කරන ලාංඡනය සටහන්වූ ස්ටිකරයක්, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යන ග්‍රන්ථ දෙකක්, නීතිඥ හැදුනුම්පතක් සකස් කිරීමට අවශ්‍ය ඡායාරූප ආදිය ලබාදී තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් සඳහන් කළා.