ජනාධිපති අරමුදල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කර ඩිජිටල්කරණය කිරීමෙන් වසරක් ඇතුළත වෛද්‍යාධාර අයදුම්පත් ලැබීම 59% කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව 2025 වසරේ ජනාධිපති අරමුදල වෙත අයදුම්පත් 5,277ක් ලැබී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
2024 වසරේ ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 3,313ක් වන අතර 2023 වසරේ ලැබී තිබූ අයදුම් පත් සංඛ්‍යාව 3, 456ක්.
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කිරීම සහ ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2024 වසරට වඩා 2025 වසරේදී අයදුම්පත් 1,964ක් ලැබී තිබෙනවා.
එම අයදුම්කරුවන් අතරින් 70%කට වැඩි පිරිසකට මේ වන විටත් වෛද්‍යාධාර ලබාදීම ද අවසන් කර බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබාගැනීම සඳහා දිවයින පුරා සියළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අයදුම්පත් ලැබෙමින් පවතින අතර, 2025 වසරේදී උතුරු පළාතේ අයදුම්පත් යොමු කිරීම 253%කින් වර්ධනය වී ඇති අතර, නැගෙනහිර පළාතේ 135%කින්, මධ්‍යම පළාතේ 116%කින් සහ ඌව පළාතේ 108%කින් අයදුම්පත් ලැබීම ඉහළ ගොස් තිබෙනවා.
ජනාධිපති අරමුදලින් මහජනතාවට වෛද්‍යාධාර ලබාදීමේ සේවාවෙහි අයදුම්පත් භාරගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදුකිරීම පසුගිය වසරේ පෙබරවාරි 07 වනදා සිට ආරම්භ කෙරුණා.
මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ සෙසු සේවා ද විමධ්‍යගත කිරීමට කටයුතු කර තිබෙනවා.



