මුන්දලම, නවදන්කුලම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු අද ජීවිතක්ෂයට පත් වුණා. පොලීසිය පැවසුවේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එම අනතුර සිදුව ඇත්තේ හලාවත දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ මෝටර් රථයක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටීමෙන්. එහිදී ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙක් බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් කුරණ හා ජා ඇල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. අනතුරෙන් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයෙකු සහ වෑන් රථයේ රියදුරු හා එහි ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා මුන්දලම රෝහලට ඇතුළත් කර තිබෙනවා. අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට මාරු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මේ අතර දිවයින පුරා සිදු වූ තවත් රිය අනතුරු කිහිපයකින් කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පුත්තලම - අට්ටවිල්ලුව අතුරු මාර්ගයේදී යතුරුපැදියක් විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
එලෙස ජිවිතක්‍ෂයට පත්ව ඇත්තේ අට්ටවිල්ලුව, කදවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුරින් පසු ලොරි රථය එම ස්ථානයේ දමා එහි රියදුරු පලාගොස් තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පුත්තලම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර, මහනුවර, බෝගම්බර වටරවුම දෙස සිට බෝගම්බර බස් පර්යන්තයට ධාවනය වූ පුද්ගලික බස් රථයක් පදික මාරුව හරහා ගමන්ගත් කාන්තාවකගේ ගැටී තවත් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව මහනුවර රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. ඇය අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරා අත්අඩංගුවට ගත් බවයි මහනුවර පොලීසිය පැවසුවේ.
කොළඹ මහනුවර මාර්ගයේ රදාවඩුන්න ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාර්ගයේ ධාවනය වූ කැබ් රථයක් පදිකයෙකුගේ ගැටී එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. අනතුරින් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කැබ් රථ රියදුරා නිට්ටඹුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, මීගමුව - මීරිගම මාර්ගයේ පොත්තොඩ කනත්ත ඉදිරිපිටදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තවත් අනතුරක් සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. එහිදී බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් හා පසුපැදිකරුවෙකු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් එක් පුද්ගලයෙකු ජිවීතක්ෂයට පත්ව තිබෙනවා.