අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, හිටපු අමාත්‍යවරයා අද ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදු කරන ලද විමර්ශනයකට අදාළව පසුගිය 26 වනදා හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබාදුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “මාකඳුරේ මදුෂ්” නැමැත්තා සිදුකළ ප්‍රකාශයකට අනුව සොයාගැනීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාලවයි.
එම ගිනිඅවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ අදාළ ගිනිඅවිය හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වෙත නිකුත් කර තිබූ එකක් බවයි.
ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ගිනිඅවිය අස්ථානගත වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඩග්ලස් දේවානන්දා මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.




