Published
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.
අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සඳහන් කළේ මෙම තීන්දුව පිටු විස්සකින් සමන්විත බවයි.
අදාල නඩු තීන්දුවේ තෝරා ගත් කොටස් කිහිපයක් පමණක් විවෘත අධිකරණයේ කියැවූ සභාපති විනිසුරුවරයා මෙම තීන්දුව සකස් කිරීම සඳහා තමන් උපරිමාධිකරණ නඩු තීන්දු දෙකක් පාදක කරගත් බව සඳහන් කළා.
එම තීන්දුවලට අනුව පෙත්සම්කරු ඉල්ලා සිටින සහන ලබා ගැනීමට විකල්ප අධිකරණමය ක්‍රියාමාර්ග තිබියදී පෙත්සම්කරුවන්ට මෙවැනි සහන අපේක්ෂා කළ නොහැකි බව විනිසුරුවරයා සඳහන් කළා.
මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මහේස්ත්‍රාත්වරයා ඇතුළු පහළ අධිකරණ වලට පුළුල් බලයක් පවතින බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා.
ඒ අනුව පෙත්සම්කරු ඉල්ලා සිටින සහන ලබා ගැනීමට විකල්ප නීතිමය ප්‍රතිකර්ම තිබෙන අතර පහල අධිකරණවල කටයුතු වලට මැදිහත්වීමට තම අධිකරණය අපේක්ෂා නොකරන බවත් සභාපති විනිසුරුවරයා පැවසුවා.
ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසී නිකුත් කිරීම තම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන බවත් ඒ අනුව අදාල පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළ සිටියා.
වෙරල සංරක්ෂණ පනතේ විධිවිධාන උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් විසින් මෙම රිට් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
පෙත්සංකාර හිමිවරු කියා සිටියේ වෙරල සංරක්ෂණ පනත යටතේ තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අධිකරණය හමුවේ නොමැති බවයි.
එසේ තිබියදී තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම් වලින් ඉල්ලා තිබුණා.
ඊට අමතරව එම පෙත්සම් විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන් වහන්සේව ඇප මත මුදා හැරෙන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් උන්වහන්සේලා අභියාචනාධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා තිබුණා.




