ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි විහාරාධිපති හිමියන් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම යළි අප්‍රේල් මස 28 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.
අදාළ පෙත්සම එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් ඉදිරිපත් කර තිබුණා.
මෙම පෙත්සම ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී පෙත්සම්කාර විහාරාධිපති හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ අදාල විහාරස්ථානයේ ප්‍රශ්නගත ඉදිකිරීම් කොටස එහි අනුමත සැලැස්මට අනුකූලව වෙනස් කර ගැනීමට පෙත්සම්කාර විහාරාධිපති හිමියන් එකඟතාවය පළ කර ඇති බවයි.
එම එකඟතාවය මත අදාළ ඉදිකිරීම කඩා ඉවත් කරන ලෙස දන්වමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නියෝගය ඉවත් කර ගැනීමට වග උත්තරකරුවන් ඉකුත් නඩු දිනයේ අධිකරණය හමුවේ එකඟතාවය පළ කර තිබූ බව පැවසුවා.
එහෙත් පෙත්සම්කාර විහාරාධිපති හිමියන්ට මෙම සිද්ධියට අදාළ වෙනත් නඩුකරයකට රිමාන්ඞ් භාරයට පත්වීමට සිදු වීම හේතුවෙන් එම කටයුත්ත ඉටු කිරීම ප්‍රමාද වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.
එම නිසා මීට පෙර අධිකරණය හමුවේ ඇතිවූ එකඟතාවය පරිදි මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා තවදුරටත් කාලය ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීමට වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා විරෝධය පළ කළේ නැහැ.
එම අවස්ථාවේදී ජනාධිපති නීතීඥ සුසන්ත බාලපටබැඳී මහතා යළි අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේ ඇතැම් නිලධාරීන් පැමිණ අදාළ විහාරස්ථානයේ පිහිටීමේ වෙනස්වීම් සිදු විය යුතු බවට කරුණු ඉදිරිපත් කර ඇති බවයි.
එහෙත් විනිසුරු මඩුල්ල කරුණු දක්වමින් අදාල ඉදිකිරීම්වල වෙනස් කිරීමක් සිදු කරන්නේ නම් එය සිදු විය යුත්තේ විහාරස්ථානයේ අනුමත සැලැස්මට අනුකූලව යැයි සඳහන් කළා.
ඒ අනුව අදාල කටයුතු ඉටුකර ගැනීම සඳහා පෙත්සම්කාර පාර්ශ්වයට අප්‍රේල් මස 28 වනදා දක්වා කල් ලබාදීමටයි විනිසුරු මඩුල්ල තීන්දු කළේ.
එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් විනිසුරු මඩුල්ල පාර්ශ්වකරුවන්ට නියෝග කළා.



