දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක් වූ සිසුන්ට ආර්ථික සහන සැපයීම සදහා ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර කාර අරමුදලේ භාරකාර මණ්ඩලය විසින් විශේෂ එක්වරක ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා.

මෙම විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන දිට්වා සුළිකුණාටුව හේතුවෙන් මව්පියන් එක් අයෙකු හෝ දෙදෙනාම අහිමි වී පවුලේ ආර්ථික සහය අහිමි වූ රාජ්‍ය විශ්ව විද්‍යාල, උසස් තාක්‍ෂණ ආයතන සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්‍ෂණයට ලක් වන අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල ලියාපදිංචි සුදුසුකම් ඇති සිසුන් සදහා අදාළ වනවා.

කාණ්ඩ තුනක් යටතේ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් මව්පියන් අහිමි වූ මහපොළ ශිෂ්‍යත්ව ලබන සිසුන්, දිට්වා සුළිකුණාටුව හේතුවෙන් මව්පියන් අහිමි වූ මහපොළ ශිෂ්‍යත්ව නොලබන සිසුන් සහ මහපොළ ශිෂ්‍යත්ව නොලබන නමුත් අනෙකුත් ශිෂ්‍යත්ව ලබාගන්නා දිට්වා සුළිකුණාටුව හේතුවෙන් මව්පියන් අහිමි වූ සිසුන් සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සදහා අයදුම්පත් www.mahapola.lk වෙබ් අඩවියෙන් භාගත කර ගත හැකියි.

අයදුම්පත් භාර ගැනීම මාර්තු 20 වනදායින් අවසන් වන බව ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර කාර අරමුදල නිවේදනය කළා.