පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් විටින් විට අද දිනයේ වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

එමෙන්ම අනුරාධපුර, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 02න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝ මීටර් 50 දක්වා තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.